නූඩ්ල්ස් නිෂ්පාදන සකසමින්

වියට්නාමයේ හදවත බඳු හෝ චිං මිං නගරයේ සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි කැන් තෝ (Can Tho) නගරයට යාන්තමින් උදෑසන අරුණලු උදා වූවා පමණි. අපගේ සංචාරක මග පෙන්වන්නා වූ කෙවින් ගේ උපදෙස් පරිදි අප සිටි හෝටලයේ සිට උදෑසන 5.00 පමණ වනවිට අපගේ සුපුරුදු සංචාරක බසයට නැගුණේ වසරකට මිලියන 52කට අධික දෙස් විදෙස් සංචාරක පිරිසක් පැමිණෙන මී කොං ඩෙල්ටාවේ (Mekong Delta) සුප්‍රකට කායි රැන්ග්  (Cai Rang) පාවෙන වෙළෙඳපොළ (Floating Market)වෙත ගමන් කරන Ninh Kieu Wharf බෝට්ටු තොටුපොළ වෙත ගමන් කිරීමටය.

වියට්නාමයේ කායි රැන්ග් (Cai Rang), ෆොන්ග් ඩියෙන් (Phong Dien) සහ කායි බේ (Cai Be) පාවෙන වෙළෙඳපොළවල් තුනක් තිබූවත් ඉතිහාසයේ සිටම විශාල වශයෙන් වෙළෙඳාම සිදුවන්නේ සහ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිව ඇත්තේ කායි රැන්ග් පාවෙන වෙෙළඳපොළ වෙතය.

Ninh Kieu Wharf බෝට්ටු තොටුපොළ ආසන්න වෙත්ම අපට දක්නට ලැබුණේ අතිශය කාර්ය බහුල වූ ජනයාගෙන් ගැවසුණු තොටුපොළක දසුනකි. අපේ රටේ කොතෙකුත් ගංගා ඇළ දොළ තිබුණත් මෙවන් කාර්ය බහුල තොටුපොළක අත්දැකීමක් කිසි දිනක අත්විඳ නොමැති නිසා මෙය අපට සුවිශේෂී අත්දැකීමක් වූ බව කිවමනාය. පාවෙන වෙළෙඳසලට මෙතැන සිට කිලෝමීටර 6ක් පමණ යා යුතුය.

අප තොටුපොළෙන් බෝට්ටුවට නගින විටත් සංචාරකයන් රැගත් බෝට්ටු සිය ගණනක් ගමන් අරඹා මී කොං ඩෙල්ටා හි පිහිටි කැන් තෝ ගඟ දිගේ ඉදිරියට ඇදෙනු ඒවායේ විදුලි ආලෝක රටා හමුවේ අපට දිස්වූයේ ඒ වනවිටත් පරිසරයේ පැවති අඳුර පරයා යමිනි.

විටෙක ගංගාවේ දිය මතුපිට මීදුම් පටලයෙන් වැසී යයි. යළිත් ටිකෙන් ටික මීදුම අඩුවනවාත් සමග නැවත දැවැන්ත මීදුම් කදම්බයකින් හාත්පස වැසී යයි. මීදුමෙන් වැසී ගිය දිය පරිසරයක් තුළ දිය බිඳිති ශරීරය වෙළාගනිමින් විටෙක ශීතාධික පරිසරයක් නිර්මාණය කරයි. 

තවත් වරෙක ගංගාව මධ්‍යයේ පිහිටි දැවැන්ත කැන්තෝ පාලමේ විදුලි බුබුළුවලින් වෑහෙන ආලෝක රටාව අපූර්ව සුන්දරත්වක් එක් කරයි. තවත් විටෙක මීදුමෙන් වැසුණු ගංගාවේ ඉදිරියේ යන බෝට්ටුවලින් වෑහෙන සෞම්‍ය අලෝක රටා සිනමා සිත්තමක මතකයන් සිහිපත් කරවයි.

හිරුකිරණ කෙමෙන් ගංඟා දිය සිප ගනිද්දී නැගෙනහිර අහස දෙස බැලූ විට දිස්වන්නේ හිරු නැග එන චමත්කාරජනක දර්ශනයයි. මෙවන් විචිත්‍රවත් දර්ශනවලින් සුසැඳි මී කොං ඩෙල්ටා පාවෙන වෙළෙඳපොළ මෙ වනවිටත් වෙළෙන්දන්ගෙන් හා ගැනුම්කරුවන්ගෙන් පිරී ගොසිනි.

උදෑසන 5 සිට උදෑසන 9 පමණ දක්වා ක්‍රියාත්මකවන මී කොං ඩෙල්ටාවේ පාවෙන වෙළෙඳපොළේ සියලු‍ ගනුදෙනු සිදුවන්නේ දිය මත ඇති ලී බෝට්ටු මතිනි. වෙළෙන්දන් සිය භාණ්ඩ විකුණන්නේද ගනුදෙනුකරුවන්ද තමනට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේද බෝට්ටු මත සිට මත වීම අපූර්ව අත්දැකීමකි.

මකර ගංගාව

සියවස් ගණනාවක් පුරා පරිසරය හා මිනිසා අතර ගොඩනැගුණු සහජීවන ගනුදෙනුව අද වනවිට ලොවපුරා සංචාරකයන්ගේ නෙත් සිත් සොරාගන්නා ව්‍යාපාරික තෝතැන්නක් බවට පත්ව තිබේ.

ටිබෙට් සානුවෙන් ඇරඹෙන වියට්නාමයත් ඇතුළුව රටවල් 6ක් තුළ දිවෙන කිලෝමීටර් 4350කට අධික දිගකින් යුත් මී කොං ගඟ දකුණු චීන මුහුදෙන් සාගරයට එක්වීමට පෙර ශාඛා 9කට බෙදෙන අතර, එහි බාහිර පෙනුම මකරුන් 9 දෙනෙකුගේ හැඩයෙන් යුක්ත යැයි  වියට්නාම් ජාතිකයන් තුළ පවති මතය නිසා ‘මකර ගංගා නවය‘ (සොං කූ ලොන්ග් -Song Cu Long) ලෙස හඳුන්වනු ලබයි. මෙහි එක් අතු ගංගාවක් වන කැන් තෝ ගඟ මූලික කරගනිමින් කායි රැන්ග් පාවෙන වෙළෙඳපොළ නිර්මාණය වී තිබේ.

අතිශය සාරවත් පසක් සහිත මී කොං නිම්න කලාපය වියට්නාමයේ සහල් නිෂ්පාදනයෙන් අඩකට වඩා වගාකරන නිසාවෙන් මෙය වියට්නාමයේ ‘සහල් බඳුන (Rice Bowl of Vietnam)  නමින් හැඳින්වෙන අතර, වියට්නාමයේ පලතුරු හා එළවළු නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක්ද මෙම සාරවත් පසෙහි වගා කර තිබේ. එසේම වියට්නාමයේ ප්‍රධාන ධීවර කලාපයක් ලෙසද මෙම ප්‍රදේශය හදුන්වනු ලබයි.

අතීත උරුමය වර්තමානය දක්වා

අතු ගංගා, ඇළ, දොළ ආදියෙන් සුසැඳි මෙම භූමියේ ජනතාවට ගොඩබිමට වඩා ජලය සමීප වීම නිසා ඔවුන්ගේ ජීවන රටාවද මී කොං ගංගාව කේන්ද්‍ර කර ගනිමින් අතීතයේ සිට නිර්මාණ වී තිබේ. මේ නිසා මෙම පාවෙන වෙළෙඳපොළ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට කෘත්‍රිමව නිර්මාණය කළ එකක් නොව, නොව මිනිසුන්ගේ පැවැත්ම සහ අවශ්‍යතාව මත පදනම්ව නිර්මාණය වූ ඓතිහාසික උරුමයක් වේ.

අතීතයේ වියට්නාමයේ මී කොං ඩෙල්ටා කලාපයේ පාලම් හෝ ගොඩබිම් මාර්ග අවම වීම  නිසා අවට වගාබිම්වල සහල්, එළවළු හා පලතුරු වගාකළ ගොවීන්ට සිය අස්වැන්න නගරයට රැගෙන යාමේ පහසුම ක්‍රමය වී ඇත්තේ ජල මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමය.

ඒ අනුව අතු ගංගා එකිනෙක හමුවන ස්ථාන ගොවීන් තම අස්වැන්න හුවමාරු කර ගැනීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කර ඇති අතර ක්‍රමානුකූලව එය පරිනාමය වී මෙම පාවෙන වෙළෙඳ මධ්‍යස්ථානය නිර්මාණය වී තිබේ.

කෙසේ නමුත් වර්තමානයේ දියුණු මාර්ග පද්ධතියක් පාලම් කොතෙක් නිර්මාණය වී තිබුණත්  ගම්බද ගොවීන් තවමත් තමන් වගාකරන කොමඩු, අන්නාසි, අඹ, රඹුටන්, දූරියන්, ඩ්‍රැගන් ෆෲට් මෙන්ම එළවළු වර්ගද අලෙවි කරන්නන් මෙම පාවෙන වෙළෙඳපොළ තුළ සිටය. තවමත් අතීතයේ මෙන්ම තොග වෙෙළඳුන් මෙම පාවෙන වෙළෙඳපොළට විත් එළවළු හා පලතුරු බෝට්ටුවල පටවා ගෙන අයුරු මී කොං ගංගාවේ සුලභ දසුනකි.

අතීතයේ වෙළෙඳුන් බොහෝ දෙනෙක් වෙළෙඳාම සඳහා මෙන්ම සිය නිවස ලෙසද භාවිත කර තිබුණේ මෙම බෝට්ටුමය. බෝට්ටුවේම උපත ලබා, ගංගාව මත හැදී වැඩී ගංඟාවේම වෙළෙද‌ාම් කර ජීවත් වූ පරම්පරාවල පුද්ගලයන් අද ද මෙහි දක්නට ලැබේ. එවැනි පවුල් ජීවත්වන බෝට්ටු ගණනාවක් මී කොං ගංගාවේ අපි ද දුටුවෙමු.

මී කොං ගඟ මැද ප්‍රචාරණ කලාව

ඕනෑම භාණ්ඩයක් විකිණීම සඳහා ප්‍රචාරණය අත්‍යවශ්‍ය සාධකයකි. කායි රැන්ග් පාවෙන වෙළෙඳපොළටද එය අදාළ කරුණකි. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නෙ උණ ලී දෙකක් මත ඇද තිබෙන ලණුවකි. මෙය කේ බියෝ (Cay Beo) යනුවෙන් හඳුන්වන අතර, තම බෝට්ටුවේ අලෙවි කරන එලවළු හෝ පලතුර මෙම උණගස් දෙකේ බැඳ ඇති ලණුවේ එල්ලා ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරේ. උදාහරණය ලෙස අන්නාසි විකිණීමට ඇති බෝට්ටුවක් නම් අන්නාසි එල්ලා තබන අතර - කොමඩු, බතල හෝ අඹ විකුණන බෝට්ටුවක් නම් එම ද්‍රව්‍ය එල්ලා ප්‍රදර්ශනය කරයි. එවිට ඒ අසලින් යන ඕනෑ අයකුට මෙහි ඇත්තේ මොනවාද යන්න සංනිවේදනය වන අතර, ඒවා මිලදී ගැනීමට අවශ්‍ය අය තම බෝට්ටු එම බෝට්ටුව අසළට ළං කර තම බෝට්ටුවේ සිට හෝ විකුණන බෝට්ටුවට ගොඩ වී අවශ්‍ය ප්‍රමාණයන් මිලදී ගැනීම සිදුකරයි.

පාවෙන අවන්හල්

කායි රැන්ග් පාවෙන වෙළෙඳපොළේ බෝට්ටුවල අලෙවි වන්නේ එළවළු හො පලතුරු පමණක් නොවේ. මෙහි එන අලෙවිකරුවන්, ගැනුම්කරුවන් හා සංචාරකයන්ට ආහාර පාන ලබාදීම සඳහා වෙන්වුණු බෝට්ටු විශාල ප්‍රමාණයක්ද මේ පාවෙන වෙළෙඳපොළේ දැකිය හැකිය. ඔවුන්ව හඳුනාගත හැක්කේ ඉන් නැගෙන ප්‍රණීත සුවඳින්ය. මෙම පාවෙන වෙළෙඳපොළේ ආහාර පාන සපයන බෝට්ටුවල තැනෙන විවිධ වර්ගවල කෝපි, තේ හා නූඩ්ල්ස් හා සුප් වර්ග තැනෙන අතර හූ තියෙව් හෝ ‘ෆෝ නම් නුඩ්ල්ස් සහිත සුප් හෝ Ca Phe Sua da අයිස් කෝපි සංචාරකයන් අතර අතිශය ජනප්‍රියය.   

අප ගමන් ගත් බෝට්ටුවට අසළට කුඩා බෝට්ටුවකින් පැමිණි ආහාර පාන අලෙවි කරන වෙළෙන්දෙකු විසින් අපේ සගයන් කීප දෙනෙකුට Ca Phe Sua da කෝපි අලෙවි කරනු ලැබීය.

ඔහුගේ අලෙවි කටයුත්ත නිමවනතෙක් සංචාරක බෝට්ටුව නවතා තැබෙන්නේ නැත. ඒ නිසා වෙළෙන්දා විසින් කඹයක බැදි කොක්කක් දමා සංචාරක බෝට්ටුව හා සම්බන්ධ වෙනු ලබයි. එවිට සංචාරක බෝට්ටුව හා සමගාමීව ගමන් කරමින් ඔහු සිය අලෙවිය සිදුකර ගනී. එසේම විශාල බොට්ටු මත තැනුණ අවන්හල් ද කායි රැන්ග් හි සුලබය.

අන්නාසි බෝට්ටුවක අත්දැකීම

මී කොං පාවෙන වෙළෙඳපොළට පැමිණි අපි අන්නාසි විකුණන බෝට්ටුවකට ගොඩවුණෙමු. තවමත් හිමිදිරි උදෑසන වූවත් අන්නාසිවලින් හමන සුවඳ නිසාම එහි සිටි වෙළෙන්දිය විසින් කපාදුන් අන්නාසි ගෙඩි කීපයක්ම මිරිස් යෙදූ ලු‍ණු කුඩු සමග ආහාරයට ගත්තෙමු.

Diem Dung Chan Mekong

මී කොං නිම්නයේ පාවෙන වෙළෙඳපොළ නරඹා අවසානයේ එහි කෙළවරට වන්නට බෝට්ටු විශාල ප්‍රමාණයක් මත ඉදිකොට ඇති Diem Dung Chan Mekong වෙළෙඳසල වෙත පියනැගීමට අවස්ථාව සැලසේ. එම වෙළෙඳසල මහල් කීපයකින් යුක්ත අතර, පහළ මාලයේ පොල් කිරි යොදා සැකසූ ටොෆී වර්ග රැසක් අලෙවියට තබා ඇති අතර - ඒවා දූරියන්, අඹ, ස්ට්‍රෝබෙරි ආදි විවිධ පලතුරු රසින් යුක්තය. ඊට අමතරව තවත් විවිධ කැවිලි වර්ග මෙන්ම සහල් යොදා සකසන නූඩ්ල්ස් වර්ග සහ නූඩ්ල්ස් ආශ්‍රිත විවිධ නිෂ්පාදන මෙන්ම අත්කම් නිර්මාණ ද මිලදී ගැනීම සඳහා අවකාශ සලසා තිබේ. මෙහි වෙළෙඳසලේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සියලු‍ නිෂ්පාදන දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිපදවන ඒවා වීමය. එසේම ඒවා වර්ණ ගැන්වීමට පවා යොදාගනු ලබන්නේ ස්වභාවික වර්ණකය. උදාහරණයක් ලෙස එහි විකිණීමට ඇති නූඩ්ල්ස් වර්ණ ගන්වා තිබුනේ රම්පේ යොදා ගනිමිනි.

Diem Dung Chan Mekong වෙළෙඳසලේ විකිණීමට ඇති ටොෆී සහ පොල් ආශ්‍රිත නිර්මාණ මෙන්ම නූල්ඩ්ස් නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබන්නේ එහි ඉහළ මාලයේය. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලබන්නේ දහයියා ළිප්ය.  

නූතන අභියෝග

මී කොං ඩෙල්ටා හි පිහිටි කායි රැන්ග් පාවෙන වෙළෙඳපොළ වෙත සංචාරක පැමිණීම ඉහළ ගියද, එහි පැවති පැරණි අර්ථ ක්‍රමය ක්‍රමයෙන් අවප්‍රමාණය වෙමින් පවතී. සංචාරකයන් ලෙස අප සුන්දරව දුටුවත් බෝට්ටු මත වෙළෙඳුන් ගෙවන දිවිය ඉතා කටුකය. විශේෂයෙන් අව්ව සහ වර්ෂාව සමග ගැටෙමින් වෙළෙඳුන් බෝට්ටු සිය ගණනක වෙළෙඳාමේ නිරතව සිටින පසුබිමක තම එලවළු හෝ පලතුරු අලෙවි කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ නිසාම පැරණි වෙළෙන්දන්ගේ දරුවන් අධ්‍යාපනය ලබා කෙමෙන් මෙම රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති අතරම ඔවුන් හෝ චිං මිං වෙත රැකියා සඳහා සංක්‍රමණය වන බව දැනගන්නට ලැබුණි.

කෙසේ නමුත් වියට්නාම් රජය විසින් වෙළෙන්දන්ට තම බෝට්ටු නඩත්තු කර ගැනීමට සහන ණය ලබාදීම , සංචාරක බෝට්ටුකරුවන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීම මෙන්ම ගංගාවේ පිරිසිදුකම රැකගැනීම උදෙසා විශේෂ ව්‍යාපෘති සිදුකරමින් මෙම වෙළෙඳපොළ අනාගතයට රැකගැනීම උදෙසා කටයුතු කරමින් සිටී.

මෙම අභියෝග හමුවේ මෙහි ඇති වැදගත්කම නිසාම මෙම පාවෙන වෙළෙඳපොළ ජාතික සංස්කෘතික උරුමයක් ලෙස ද නම් කර තිබේ.

මී කොං ඩෙල්ටාවේ පිහිටි කායි රැන්ග් ජලජ වෙළෙඳ නගරය යනු තවත් එක් වෙළෙඳපොළක් නොව වියට්නාමයේ සංස්කෘතිය හා බැඳුණු අපූර්ව නිර්මාණයකි. තවත් ලෙසකින් පැවසුවහොත් සොබාදහම හා අනුගතවෙමින් ජලය මත සිය දිවිය ජයගන්නට වෙර දරන මිනිසුන්ගේ සදාතනික සිහිවටනයකි.

වියට්නාමයේ සංචාරය කරන්නකුට හිමිදිරි උදෑසන මී කොං ඩෙල්ටාහි කායි තෝ ගඟ දිගේ ගොස් කායි රැන්ග් පාවෙන වෙළෙඳපොළට පිවිස ගත කරන කාලය සදාතනික මතකයක් ලෙස පවතින සුවිශේෂී ජීවන අත්දැකීමකි.  

ශ්‍රී ලාංකික සංචාරකයන් අතර  වියට්නාමය ප්‍රකට ගමනාන්තයක් බවට පත්කරලීම උදෙසා   එරට ප්‍රමුඛ ගුවන්සේවාවක් වන වියට්ජෙට් මේ වනවිට සෘජු ගුවන් සේවා අරඹා ඇති අතර,  සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කොළඹ සිට හෝ චිං මිං දක්වා  සෘජු ගුවන්සේවා ක්‍රියාත්මක කරනු ලබයි.

විශේෂ ස්තුතිය - මාර්ක් ඇන්ඩ් කොම් හි ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යෂක්ෂ තන්සිල් තාජුඩීන් හා කළමනාකාරීනී (PR & Social Intelligence) අංජලී මුණසිංහ සහ Viet Jet Air - Marvin Manh Le and Tour Guide Nguyen Van Tinh (Kevin)

නිරෝෂාන් ප්‍රේමරත්න

බඩු පැටවූ බෝට්ටුවක්

අන්නාසි වෙළෙන්දිය

දහයියා ලිප

Diem Dung Chan Mekong ටොෆී වෙළදසැලක්

කැපූ අන්නාසි

අවන්හලක්

පාලම ආලෝකවත් කර ඇති අයුරු

වෙනත් නිෂ්පාදන

පාවෙන වෙළෙඳපොළේ දර්ශනයක්

සංචාරකයන් රැගත් බෝට්ටුවක්