ශ්‍රී ලංකාවේ මිල ඉහළ යන විට මහ බැංකුවට සහ රජයට කළ හැකි දේ

කෑම බීම, ඉන්ධන සහ විදුලිය සඳහා වැඩිපුර ගෙවන්න සිදු වුණාම, කලින් ගත් දේවල් ඒ වැටුපෙන්ම ගන්න අමාරු වෙනවා. මහ බැංකුව පොලී අනුපාත වැඩි කළොත් මේ තත්වයට සහනයක් ලැබෙයිද?

ඒක තීරණය වෙන්නේ මිල ඉහළ යන්නේ ඇයි කියන කාරණය මතයි. ණය ගැනීමත් වියදම් කිරීමත් වේගයෙන් වැඩි වීම නිසා මිල ඉහළ යනවා නම්, පොලී වැඩි කිරීමෙන් ඒ පීඩනය අඩු කරන්න පුළුවන. එහෙත් අස්වැන්න අඩු වීමෙන් හෝ පිටරටින් ගෙන්වන ඉන්ධන මිල වැඩි වීමෙන් හෝ ඇති වන පීඩනයට පොලී වැඩි කිරීමෙන් ලැබෙන ඉක්මන් සහනය සීමිතය.

උද්ධමනය අඩු වුණාම බඩු මිලත් අඩු වෙනවාද?

උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යෑමයි. 2026 ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය, පෙර වසරේ ඔක්තෝබරයට වඩා සියයට 8.3කින් ඉහළ ගියේය. ආහාර මිල සියයට 8.8කින් ද, අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල සියයට 8කින් ද වැඩි වුණි (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2026).

ඔබ නිතර ගන්නා ආහාර ද්‍රව්‍ය ටිකකට මුල් අවුරුද්දේ රුපියල් 10,000ක් වැය වුණා කියලා හිතන්න. ඊළඟ අවුරුද්දේ ඒ ටිකටම රුපියල් 11,000ක් වැය වුණා නම්, මිල වැඩිවීම සියයට 10යි. ඊට පසු අවුරුද්දේ වියදම රුපියල් 11,500ක් වුණා නම්, ඒ අවුරුද්දේ මිල වැඩිවීම සියයට 4.5ක් පමණයි. මිල වැඩි වන වේගය අඩු වුණත්, ඒ බඩු ටික ගන්න මුලට වඩා රුපියල් 1,500ක් වැඩිපුර ඕනෑ. වැටුප එහෙමම තිබුණොත්, ඒ සඳහා වැටුපෙන් වැඩි කොටසක් වෙන් කරන්න සිදු වෙනවා.

මහ බැංකුව ගත් තීරණය මොකක්ද?

2026 නොවැම්බර් 20 වැනිදා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 8.75 සිට සියයට 9 දක්වා වැඩි කළා. ගෘහ ඒකක සහ ව්‍යාපාර ගන්නා ණයවල පොලියට බලපෑම් කරන්න මහ බැංකුව මේ අනුපාතය යොදාගන්නවා. දෙසැම්බර් 9 වැනිදා සිට වාණිජ බැංකු තම තැන්පතුවලින් සියයට 3ක් මහ බැංකුවේ සංචිතයක් ලෙස තබාගත යුතු බවත් නිවේදනය කළා. එයින් වාණිජ බැංකුවලට ණය දීමට තිබෙන ඉඩ අඩු විය හැකියි (ශ්‍රී ලංකා මහ බැංකුව, 2026).

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය සියයට 5යි. උද්ධමනය 2027 වසරේ දෙවැනි භාගයේදී ඒ මට්ටමට ළඟා විය හැකි බව මහ බැංකුව පවසනවා (ශ්‍රී ලංකා මහ බැංකුව, 2026a, 2026b). නොවැම්බර් මාසය අවසන් වන විට එය සියයට 9ක් පමණ විය හැකි බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා (EconomyNext, 2026).  උද්ධමනය කොයි තරම් ඉක්මනින් අඩු වෙයිද කියන එකට ආහාර හා ඉන්ධන මිල, කාලගුණය සහ රුපියලේ අගයත් බලපානවා.

ශ්‍රී ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

පිටරටින් ගෙන්වන දේවලට වැඩිපුර වැය වීම. ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර සහ අමුද්‍රව්‍ය වැනි බොහෝ දේ ලංකාව පිටරටින් ගෙන්වනවා. ලෝක වෙළෙඳපොළේ මිල හෝ නැව් ගාස්තු වැඩි වුණොත්, නැත්නම් රුපියලේ අගය පහළ ගියොත්, ඒවා ගෙන්වන්න වැඩිපුර මුදල් වැය වෙනවා. ව්‍යාපාර ඒ අමතර වියදමෙන් කොටසක් මිල වැඩි කිරීම හරහා පාරිභෝගිකයන් වෙත පවරන්න පුළුවන්. මෙයට ආනයනික උද්ධමනය’ කියනවා.

සැපයුමට වඩා ඉල්ලු‍ම වේගයෙන් වැඩි වීම. ගෘහ ඒකක සහ ව්‍යාපාර වැඩිපුර වියදම් කරන විට, ඒ ඉල්ලු‍මට සරිලන තරම් භාණ්ඩ හා සේවා සැපයීමට නොහැකි වුණොත් මිල වැඩි වෙන්න පුළුවන්. බැංකු ණය වේගයෙන් වැඩි වීමත් මේ පීඩනය තවත් වැඩි කරන්න පුළුවන්.

වෙළෙඳපොළට එන භාණ්ඩ ප්‍රමාණය අඩු වීම. අස්වැන්න අඩු වුණොත් හෝ ගොවිපොළේ සිට කඩයට බඩු ගෙන ඒම ප්‍රමාද වුණොත්, විකිණීමට තිබෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසාත් මිල ඉහළ යන්න පුළුවන්.

මේ හේතු එකවර බලපාන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස, ඉන්ධන මිල වැඩි වුණාම එළවළු ප්‍රවාහනයට වැඩිපුර වැය වෙනවා. ඊළඟ එළවළු තොගය ගෙන්වන්න වැඩිපුර ගෙවන්න වෙයි කියලා හිතන වෙළෙන්දෙක්, ඒ තොගය ලැබෙන්නත් කලින් දැනට තිබෙන එළවළුවල මිල වැඩි කරන්න පුළුවන්. මේ විදිහට එක් භාණ්ඩයක මිල වැඩි වීම වෙනත් භාණ්ඩවල මිලටත් බලපානවා.

පොලී වැඩි කළාම මොකද වෙන්නේ?

මහ බැංකුව ප්‍රතිපත්ති පොලිය වැඩි කළාම, වාණිජ බැංකු ණයවලට අය කරන පොලියත් තැන්පතුවලට ගෙවන පොලියත් වැඩි කරන්න පුළුවන්. ණයක් අරගෙන වාහනයක් ගන්න හිතාගෙන හිටපු අය ඒ තීරණය කල් දාන්න පුළුවන්. ව්‍යාපාරයක් අලු‍ත් යන්ත්‍රයක් මිලදී ගැනීම කල් දාන්න පුළුවන්. මේ විදිහට ණය ගැනීමත් වියදම් කිරීමත් අඩු වන විට, ඉල්ලු‍ම නිසා මිල ඉහළ යන වේගය අඩු විය හැකියි. ඒ බලපෑම දැනෙන්න කාලයක් ගත වෙනවා.

ඉහළ පොලිය එදිනෙදා වැඩ කරගෙන යන්න ණය ගන්නා ව්‍යාපාරවලට අමතර වියදමක්. උදාහරණයක් ලෙස, විකුණූ භාණ්ඩවලට මුදල් ලැබෙන තුරු අමුද්‍රව්‍ය ගන්නත් වැටුප් ගෙවන්නත් කුඩා නිෂ්පාදකයකුට ණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ ණයට වැඩි පොලියක් ගෙවන්න සිදු වුණොත්, නිෂ්පාදනය වැඩි කිරීම හෝ අලු‍තින් සේවකයන් බඳවා ගැනීම කල් යන්න පුළුවන්. පොලිය කොපමණ වැඩි කරනවාද, ඒ මට්ටමේ කොපමණ කාලයක් තබනවාද කියලා තීරණය කරන විට මහ බැංකුව මේ බලපෑම් ගැනත් සලකා බලන්න ඕනෑ.

නිෂ්පාදනය වැඩි වුණත් ජීවන වියදම දැනෙන්නේ ඇයි?

2026 තුන්වැනි කාර්තුවේ කාර්මික නිෂ්පාදනය, පෙර වසරේ එම කාර්තුවට වඩා සියයට 1.9කින් ඉහළ ගියා. සැප්තැම්බර් මාසයේදී එය පෙර වසරේ සැප්තැම්බරයට වඩා සියයට 4.4කින් වැඩි වුණා (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2026b). රටේ සමස්ත කාර්මික නිෂ්පාදනය වැඩි වන අතරම, ඇතැම් ව්‍යාපාරවලට විදුලිය, ප්‍රවාහනය සහ අමුද්‍රව්‍ය සඳහා ඉහළ වියදමක් දරන්න සිදු වෙන්න පුළුවන්.

ජීවන වියදම කොයි තරම් දැනෙනවාද කියන එක වැටුප මතත් රඳා පවතිනවා. වැටුපට වඩා බඩු මිල වේගයෙන් වැඩි වුණොත්, වැටුපෙන් ගන්න පුළුවන් දේ අඩු වෙනවා. ‘සැබෑ වැටුප පහළ යෑම’ කියන්නේ ඒකටයි. සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ මේ අහිමි වූ මිලදී ගැනීමේ හැකියාවෙන් කොටසක් හෝ ආපසු ලබාගන්නයි. සේවකයන්, සේවායෝජකයන් සහ රජය අතර සාකච්ඡාවලදී ජීවන වියදම, සේවකයන්ගේ නිෂ්පාදන දායකත්වය සහ ව්‍යාපාරවලට දැරිය හැකි වැටුප් වියදම ගැන සලකා බැලීම වැදගත්.

පොලී තීරණවලට අමතරව රජයට කළ හැකි දේ

භාණ්ඩ හිඟයට හේතුව හඳුනාගෙන සැපයුම වැඩි කිරීම. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විට රජය සතුව තොග තිබේ නම්, ඒවා වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමත් ඉක්මන් කරන්න පුළුවන්. තද වැස්සෙන් පාරක් අවහිර වෙලා එළවළු ගෙන එන්න බැරි නම්, පාර විවෘත කර ප්‍රවාහනය යථා තත්වයට පත් කිරීමෙන් ඉක්මනින් සහනයක් ලැබෙන්න පුළුවන්. හිඟය දිගටම පවතින බව පෙනෙනවා නම්, තාවකාලිකව ආනයනය කිරීමත් සලකා බලන්න පුළුවන්. එහිදී දේශීය අස්වැන්න වෙළෙඳපොළට එන කාලය සැලකිල්ලට ගන්න ඕනෑ. ඒ කාලයේම විශාල ආනයන තොග ආවොත්, ගොවීන්ට තම වියදම පියවාගන්න අමාරු වෙන්න පුළුවන්. වෙළෙන්දන් එකතු වී මිල නියම කරන බවට සැකයක් තිබේ නම්, ඒ ගැන විමර්ශනය කරන්න පුළුවන්. දිගු කාලීනව වාරිමාර්ග, ශීත ගබඩා සහ ප්‍රවාහනය දියුණු කිරීමෙන් අස්වනු නාස්තියත් බඩු වෙළෙඳපොළට ගෙන ඒමේ වියදමත් අඩු කළ හැකියි.

රජයේ වියදම්වලට නිසි ප්‍රමුඛතා දීම. රටේ සමස්ත ඉල්ලු‍ම දැනටමත් වේගයෙන් වැඩි වෙනවා නම්, හදිසි අවශ්‍යතාවක් නැති ඇතැම් රජයේ වියදම් කල් දැමීමෙන් මිල මත ඇති පීඩනය අඩු කරන්න පුළුවන්. ඒ අතරම, ආහාර හා ඉන්ධන මිල ඉහළ ගිය විට අඩු ආදායම් ලබන ගෘහ ඒකකවලට තාවකාලික මුදල් ආධාර දීමෙන් අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න උදව් වෙනවා. ඒ සඳහා අඩු ප්‍රමුඛතාවක් ඇති වැඩසටහන්වලින් මුදල් වෙන් කළ හැකියි. ඉදිරි නිෂ්පාදනයට අවශ්‍ය නඩත්තු වියදම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. වාරි ඇළක් අලු‍ත්වැඩියා කිරීම කල් දැමුවොත් මේ අවුරුද්දේ මුදල් ඉතිරි වෙයි. ඒත් ලබන අවුරුද්දේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්.

මිල ඉහළ යෑමට හේතුව අනුව මහ බැංකුවත් රජයත් ගන්නා පියවර වෙනස් විය යුතුයි. වියදම් වේගයෙන් වැඩි වීමෙන් ඇති වන මිල පීඩනය අඩු කිරීමට මහ බැංකුවට පොලී අනුපාත යොදාගන්න පුළුවන්. භාණ්ඩ හිඟයක් ඇති විට රජයට සැපයුම යථා තත්වයට ගෙන ඒමටත්, ඒ අතරතුර වැඩිම පීඩනයට මුහුණ දෙන ගෘහ ඒකකවලට සහනයක් ලබාදීමටත් පුළුවන්. මේ තීරණ ගන්නා විට මිලට වගේම රැකියා, නිෂ්පාදනය සහ ගෘහ ඒකකවල මිලදී ගැනීමේ හැකියාවට ඇති බලපෑමත් සලකා බැලිය යුතුයි.

මූලාශ්‍ර

■ ශ්‍රී ලංකා මහ බැංකුව (2026a), Monetary Policy Review No. 06 – November නොවැම්බර් 20.

■ ශ්‍රී ලංකා මහ බැංකුව (2026b), ‘Sri Lanka’s inflation target is set at 5 for the next three years’. 

■ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (2026a), Colombo Consumer Price Index – October 2026. 

■ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (2026b), Industrial Production Index – Third Quarter 2026. 

■ EconomyNext (2026), ‘Sri Lanka inflation projected to reach 9-pct by month-end: Central Bank Governor’, නොවැම්බර් 20.