මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම 



හිතවත් මිතුරකු හදිසියේ අසනීප වෙද්දී සමීපතම කළණ මිතුරකු පැවරූ වගකීම් ඉටු කරන්නට බියෙන් ගමෙන් අතුරුදන් වූ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් සිටිනා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අයත් ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි.
වට්ස්ඇප් ඇප් ගෲප් එකක් වටා ගෙතුණු තරුණ මිතුරු සංවිධානයකි.දුකට සැපට නිරතුරුව පිහිට වෙන නිසාත්, මසකට වරක් නම් කරන ලද නිවසකට රාත්‍රියේ දී හමුවී සතුටු සාමීචියේ යෙදී පොදු වැඩවලට හා අසරණ අයට පිහිට වෙන නිසාත් එය ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවා මිතුරු සංවිධානයක් බවට පත්ව තිබේ.


ඔවුන්ගේ මිතුරෙක් හිටි හැටියේ රෝගී විය.ගමේ රෝහලට ඇතුළත් කළ රෝගියා නැවතුනේ කොළඹ ජාතික රෝහලෙන්ය. ඔහුගේ තත්වය භයානකය. ඔහු රෝහලෙන් ටිකට් කපා ගෙදරට ගෙනාවේය. මිතුරු කැල ඔහු වටා එක් රොක් වූහ.
“මචං මං මැරුණොත් ඇස් දෙක දන් දෙන්න කැමැත්ත දුන්නා. ඒදේ කරන්න උදව් කරන්න. ඒත් එක්කම මම මැරුණොත් මට ගුණ කථන එපා.ඒ වෙනුවට මේ ගායක ගායිකාවන්ගේ මේ ගීත ගෙදරත් මෘත දේහය පාර දිගේ කනත්තට රැගෙන යන තෙක්ම රැස්ව සිටින අයටත් අහන්න සලස්වන්න.අපි වෙනස් විදියක මළගමක් ගමේ අයට පෙන්වමු. මගේ මේ ඉල්ලීම ඉටු කරපල්ලා.”‍
ඔහු කොළයක් ගත්තේය ගීත ටික පිළිවෙළට ලියා දුන්නේය.
ගෙදර සැවොම ඒ සඳහා කැමැත්ත පළ කළහ. ඒ දේ කරන්නේ කවුද? මිතුරු කැල අතරින් කමිටුවක්ද පත් කෙරිණි.
චතුර කථිකත්වයක් ඇති නිවේදකයකුට එය බාර දුන්නේය.එම අභියෝගය සඟයා බාර ගත්තේය.
ඊට දින කීපයකට පසුව රෝගියා නැවත රෝගී විය. ඔහු රෝහල් ගත කෙරුණි.රෝගියා දැඩි සත්කාරයේය. කිසිදු සිහියක් නොමැත. මිතුරු කැල රෝහල වටා රොක් වෙද්දී නිවේදක කථික මිතුරා දක්නට නැත.ඔහු ගමෙන්ද පිටමං වෙලාය.
කෙසේ වෙතත් රෝගියාට ජීවත්වීමේ භාග්‍යය උදා විය. ඔහු නැවතත් සුවය ලබා ගෙදර ආවේය.
රෝගියා මැරෙයි යැයි සිතා නිවේදක වැඩ බාර ගත් කථිකයා පැවරූ කාර්යයන් කිරීමට අකමැත්තෙන් එලෙස ගමෙන් අතුරුදන් වී ඇත. එය මිතුරු සමුහයටද, රෝගියාටද රහසක් නොවූයෙන් ලැජ්ජාවට පත් හෙතෙම දැන් ඔවුන් කරා නොයන බවත්, පැවරූ වගකීමෙන් මියැදෙන්නට පෙර ජීවමානව සිටියදී පලා ගිය සගයා එම සමූහයෙන්ද,නිවේදක වැඩවලින් ද ඉවත් කර ඇති බවත් දැන ගන්නට තිබේ.