(විමුක්ති එස් රුද්‍රිගු)

අඩු ආදායම්ලාභී මෝටර් රථ සහ වාහන හිමියන්, ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන රජය ආරම්භ කරන ලද අගමැති සහන ඉන්ධන වැඩසටහනට පසුගිය 14 වැනිදා වනවිට මිලියන 11.83 ක ජනතාවක් සාර්ථකව ලියාපදිංචි වී ඇතැයි මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එම වැඩසටහන පාකිස්තානය පුරා ක්‍රියාත්මක වන බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

පාකිස්තාන තොරතුරු තාක්ෂණ සහ දුරකතන අමාත්‍යාංශයේ ඩිජිටල් යටිතල පහසුකම් ඔස්සේ සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුතුව මෙම සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

වැඩසටහන යටතේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ මිලියන 11.41ක් ලියාපදිංචි වී ඇති බවත් එහිදී එක් වාහනයක් සඳහා පාකිස්තාන රුපියල් 500 ටෝකනයක් ලැබෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය. තවද 800 cc ධාරිතාව දක්වා කුඩා මෝටර් රථ 4,12,000ක් වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති බවත් එහිදී එක් මෝටර් රථයක් සඳහා පාකිස්තාන රුපියල් 1000 ක ටෝකනයක් ලැබෙන බවත් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එලෙස නිකුත් කරන ටෝකනයක වලංගු කාලය දින 7 ක් බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. වැඩසටහන යටතේ ටෝකන් මිලියන 27.64ක් නිකුත් කර තිබෙන බවත් ඉන් ටෝකන් මිලියන 25.20 ක් ජනතාව භාවිත කර ඇති බවත් එම කාර්යාලය ප්‍රකාශ කළේය.