(අමදෝරැ අමරජීව)

සෞදි අරාබියේදී මරණ දඩුවමට  නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම මරණ දඬුවම් නියෝගය ඊයේ (13) දින අත්හිටුවා ඇති බවය.මෙය සිවරසා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ලැබුණු විශාල සහනයක් ලෙස හැඳින්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන ලද අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්වූ බව කීහ.

මේ සම්බන්ධයෙන් සහාය දැක්වූ  සෞදි අරාබි රජයට සිය ප්‍රශංසාව පළ කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ නිලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට,සෞදි රජයේ නීතිඥවරුන් ඇතුළු සියලුම දෙනාට ස්තුතිය පළ කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීහ.