(තිලකරත්න දිසානායක)

රිය අනතුරක් හේතුවෙන් මොළය මියගිය තරුණයකුගේ හෘදය, වකුගඩු සහ අක්මාව යන අවයව රෝගී තත්වයෙන් සිටින රෝගීන්ට බද්ධ කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ගුවන් මගින් යැවීමට අද පියවර ගෙන තිබිණි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයකු රිය අනතුරකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉකුත් 24 වැනිදා සිට රෝගියා දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබා ඇති බවත් රෝගියාගේ මොළය මියයාම මත මවුපියන්ගේ කැමැත්ත මත මෙසේ අවයව ලබා ගැනීම කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මේ අනුව විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මොළය මිය ගොස් ඇති රෝගියාගේ හෘදය, අක්මාව සහ වකුගඩු ලබා ගෙන ගුවන් හමුදාවේ සහාය ඇතිව ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කළ බවද එම ප්‍රකාශයා පැවැසීය.

රෝගියාගෙන් ලබා ගන්නා හෘදය, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 17 හැවිරිදි හෘද රෝගියකුට බද්ධ කිරීමට සූදානම් කර ඇති බවත් දැනගන්නට ලැබිණි.

අනතුරට පත් රෝගියාගේ ශරීර අවයව අද සවස ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත යැවීමට සැලසුම් කර තිබිණි.