(අංජුල මහික වීරරත්න)

අනුරාධපුරය, මිහින්තලය සහ මහනුවර හුදෙක් සංචාරක නැරඹුම් ස්ථාන ලෙස පමණක් නොව, බෞද්ධ අධ්‍යාපනය සහ ආධ්‍යාත්මික සංචාරක කර්මාන්තය (Spiritual Tourism) කේන්ද්‍ර කරගත් සුවිශේෂ ගමනාන්ත ලෙස ජාත්‍යන්තරය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවර පිළිබඳව සංචාරක අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකදී අවධානයට ලක් කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන වෙනම විමසා බැලූ ජනාධිපතිවරයා, ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳවද අවධානය යොමු කළේය.

යාපනය, මන්නාරම සහ මඩකලපුව කේන්ද්‍ර කරගනිමින් ලන්දේසි වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සාගර සංචාරක කර්මාන්තය (Marine Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා පසුගිය වසරේ ආරම්භ කළ නව ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු විය.