IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල

ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.එවන් අවස්ථාවක් පසුගිය සිකුරාදා දිනයේදී දැකගත හැකිවූ අතර , මින් පෙර අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් සමග මෙරටට පැමිණ අත්දැකීම් ඇති ටොඩ් ෂ්නයිඩර් ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමක් අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා,සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා,මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රරන් මහතා,අගමැති උපදේශක ආර්.පස්කාරලිංගම් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූයේය.

 

රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ පරිදි මෙහිදී සාකච්ඡාවී ඇත්තේ අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිතව ඇති ණය මුදලක් පිළිඹදවය.එය ඩොලර් බිලියන 1.5 ක් හෝ ඩොලර් බිලියන 2ක් විය හැකි බව එම ආරංචි මාර්ගය කීවේය.ගෙවුණු සෙනසුරාදා දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස රජයේ නිලධරයින් කිහිපදෙනෙක් සමග විශේෂ හමුවක් පැවැත්වූ බවද එහිදී මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කෙරුණු බවද සන්ඩේ ටයිම්ස් සම්බන්ධ කරගත් මෙම ආරංචි මාර්ගය පැවසුවේය.මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම මස 10 වැනිදා වන විට ගත හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය

 

අනවශ්‍ය වියදම් කපා හැරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දෙන ලෙස කළ ඉල්ලීමකටද අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවය පළකර ඇතැයි අගමැති වික්‍රමසිංහ කීවේය.

‘රාජපක්ෂ පාලන සමයේ රජයේ ආයතන ඉතාම විශාල වශයෙන් පාඩු ලබා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.’ අගමැතිවරයා පැවසුවේය.මෙවන් අලාභ ලැබීමට හේතුව අවිධිමත් අයුරින් සිදුව තිබෙන කලමණාකරණ කටයුතු බව කියා සිටි අගමැතිවරයා එය කිසිසේත්ම නොසළකා හැරිය නොහැකි බව අවධාරණය කළේය.අවශ්‍ය වේලාවකදී ණය ගැනීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අන්තර්ගතව ඇති ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමට පියවර ගත යුතු බවයි.

 

ශ්‍රීලන්කන් ගුවන්නියමුවෝ පෙරට එති

පසුගිය ඉරිදා රාජගිරිය දියවන්නා පෙදෙසේ පිහිටි කාර්යාලයේදී රැස්වුණු ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් නියමුවෝ එදින සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ අලාභ සම්බන්ධයෙන් පළව තිබූ වාර්තාව පිළිඹඳව සාකච්ඡා කළහ.නමුත් ගුවන් නියමුවන්ගේ මෙම හමුව කැඳවා තිබුණේ වෙනත් කරුණක් අරබයාය.මෙම වසර සඳහා වැටුප් වර්ධක ලබා නොගෙන සේවය ලබාදිය හැකිදැයි ගුවන්සේවා කලමණාකාරීත්වය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.ශ්‍රීලන්කන් හි සිටින 300 ක් පමණ වන ගුවන් නියමුවන්ගෙන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම හමුවට සහභාගීව සිටියහ.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සතියකට ඉහතදී පාර්ලිමෙන්තුව හමුවේ කියා සිටියේ ශ්‍රීලන්කන් හි අධික ණය බර දැරීමට සිදුව තිබෙන නිසා රාජ්‍ය බැංකු වලට කෘෂිකර්මාන්තය හා කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්තයන්ට අවැසි වන ණය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවය.

 

ශ්‍රීලන්කන් මුහුණදී සිටින අර්බුදයට සම්පූර්ණයේම වගකිව යුතු වන්නේ එහි කලමණාකාරීත්වය බවට ගුවන්නියමුවෝ චෝදනා කළහ.නව සභාපතිවරයකු , අධ්‍යක්ෂකවරයකු හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්ව මාස 15 කට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිඳු ආකාරයක ප්‍රගතියක් වාර්තා කිරීමට ඔවුන්ට හැකිව නොමැති බව ඔවුහු පැවසූහ.එයට ප්‍රධානම හේතුව වන්නේ කලමණාකාරීත්වයේ අකාර්යක්ෂමභාවය බව ගුවන්නියමුවන්ගේ අදහස විය.මෙම අවස්ථාවේදී වැටුප් වර්ධක නොලබා සේවයේ යෙදීමට කර ඇති ඉල්ලීම නොසළකා හැරීම සුදුසු නොවන බව එක් ගුවන් නියමුවකුගේ අදහස විය.එසේ නොකළහොත් ගුවන්සේවයේ අලාභ වලට ගුවන් නියමුවන්ද වගකිව යුතුව ඇතැයි රජය චෝදනා කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

 

අගමැති වික්‍රමසිංහ ඉදිරිපත්ව ගුවන්සේවයේ වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නේ නම් ගුවන් නියමුවන් පමණක් නොව, ගුවන් යානා සේවක පිරිස්ද, ඇතැම් විට ඉංජිනේරුවන්ද පවා මෙම වසර සඳහා අර්ධ වැටුප් ලබා සේවය ලබාදීමට කැමැත්ත පළකරනු ඇති බව තවත් ගුවන් නියමුවෙක් පැවසුවේය.ගුවන්සේවය නගා සිටුවීමට සුළු හෝ දෙයක් කර නොමැති වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළහොත් මිස මෙවන් කැපකිරීමක් කිරීමට ශ්‍රීලන්කන් සේවක මඩුල්ල කිසිසේත්ම එකගතාවය පළනොකරනු ඇති බවද ඔහු කිවේය.මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන්හි ක්‍රියාත්මක වෙනත් වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමට කමිටුවක් පිහිටුවීමට එකඟතාවය පළවිය.නමුත් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ගේ සංගමය වැටුප් කප්පාදුවකට කිසිසේත්ම එකඟ නොවන බවට දැනටමත් තීරණය කර ඇත.

 

කලමණාකාරීත්වයේ වගකීම් දරන ඇතැම් සාමාජිකයින් සියලු සුඛ විහරණයන්ගෙන් සපිරි ජීවිත ගතකරමින් සිටීමද ගුවන් නියමුවෝ දැඩිව විවේචනය කළහ.ගුවන්සේවය නගා සිටුවීමට කිසිදු කැපකිරීමක් නොකරන ඔවුන් ගුවන්සේවය නගා සිටුවීමට යැයි කියමින් රජයෙන් තවත් මුදල් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මෙම ජීවිත එළෙසම පවත්වාගැනීමට බවද ගුවන් නියමුවෝ පැවසූහ.මැයි මස පළමුවැනිදා සිට රෝමයේ ශ්‍රීලන්කක් ගුවන්සේවා කාර්යාලය වසාදමා තිබෙන බවද මෙහිදී සඳහන් විය.පැරිස් හා ෆ්‍රැන්ක්ෆර්ට් නුවර වල ඇති ශ්‍රීලන්කන් කාර්යාල වසා දැමීමටද අවධානය යොමුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.කල්බදු පදනම යටතේ මිලයට ගෙන ඇති එයාර්බස් ඒ 350 යානා හතරක් එම බදු පදනම යටතේම තුරකි ගුවන්සේවය වෙත ලබාදීමට එම යානා නිශ්පාදනය කරන එයාර්බස් සමාගම සමග සාකච්ඡා පැවැත්වන බවද නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් දැනගැනීමට හැකිවිය.

 

අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ ආර්ථික කලමණාකරන කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව පසුගිය අගහරුවාදා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති අජිත් ඩයස් හා එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙක් හමුවිය.ඇගලුම් අපනයනකරුවකු වන අජිත් ඩයස්ට කොළඹ පිහිටි කෝපි අවන්හල් ජාලයක්ද අයත්ය.හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අජිත් ඩයස් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩිව දෝෂාරෝපණය කළෝය.මෙම අවස්ථාවේදී අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ වහාම පියවිය යුතු ණය වලට බව කරුණානායක කීවේය.හෂීම් අදහස් දක්වමින් ගුවන් සේවය නගාසිටුවීමට මූලෝපායික වශයෙන් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටියද දැනට ඇති තත්ත්වය සැළකීමේදී එය කිසිසේත්ම පහසු දෙයක් නොවන බව පැවසුවේය.ශ්‍රීලන්කන් කලාපීය වශයෙන් පමණක් ක්‍රියාත්මක වන ගුවන්සේවයක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම් කටයුතු භාරගැනීමට විදෙස් ගුවන් සේවයක හෝ වෙනත් පාර්ශවයක සහය ලබාගැනීමට රජයට හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි.

 

අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට ශ්‍රීලන්කන් ගුවන්සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් ලක්ෂ 2119.64 කි.එය රටේ රාජ්‍ය ආයතන එම දිනය වන විට ලබාඇති මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20.33 ක ප්‍රමාණයකි.අලාභ ලැබීම අතින් පළමු ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එහි අලාභය රුපියල් ලක්ෂ 3650.47 කි.දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා වරාය අධිකාරියයි.එහි අලාභය රුපියල් ලක්ෂ 2602.21 කි.ශ්‍රීලන්කන් ගුවන්සේවය සිටින්නේ තෙවැනි තැනය.

 

බදු අකුලාගනී

2016 අයවැය යෝජනාවලිය සකස් කිරීමෙන් පසු ඊට පෙර අනාවණය නොවූ ණය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව පැවසූ අගමැතිවරයා එම ණය ගැනීම් පිළිඹද වාර්තා හෝ ක්‍රමවේද හෝ නොමැති බවද කීවේය.වානිජ බැංකු,ආර්ථික කලමණාකරණ පණත ප්‍රකාරව රජය දී ඇති වගකීම්,රාජ්‍ය ආයතන විදේශයන්ගෙන් ලබාගෙන ඇති මුදල්, ආදී ලෙස මෙම ණය ලබාගෙන තිබෙන බව අගමැතිවරයා අනාවරණය කළේය.

 

මේ හමුවේ පසුගියදා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක නිකුත් කළ චක්‍රෙල්ඛයක් අරබයා රට පුරා කලබලයක් ඇතිවිය.2016 අයවැය යෝජනාවලට අගමැතිවරයා සිදුකරන බව පවසා තිබූ සංශෝධන චක්‍රලේඛයේ සඳහන්ව තිබිණ.

 

‘ 2016 මාර්තු මස 4 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී ගත් තීරණ ප්‍රකාරව මුදල් අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2016 අයවැය යෝජනාවලියේ සඳහන්වූ ආදායම් බදු යෝජනා සංශෝධනය කෙරෙනු ඇත.එම සංශෝධිත යෝජනා 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.’

‘සමාගම් වලට අදාළ වන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.බැංකු හා මූල්‍ය කටයුතු පිළිඹඳ සමාගම් සඳහා වන ආදායම් බද්ද සියයට 28 කි.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,රේස් ඔට්ටු හා සූදු යන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 40 කි.’

 

‘සමාගම් ආදායම් බද්දට යටත් නොවන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 17.5 කි.’

 

සමාගම් නොවන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වූ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ චක්‍රෙල්ඛයේ සඳහන් විය.

 

‘ආදායම් බදු අනුපාතික ප්‍රගමණය වීම, බදු වලින් නිදහස් වීමේ අවසරය,වෘත්තියේ නියැළීමෙන් ලැබෙන ලාභය මත තීරණය වන බදු කප්පාදු කිරීම් හෝ බදු වලින් නිදහස් කිරීම්, බදු අයකරගෙන මාසික වේතනය ලබාදීමේ ක්‍රමවේදය ආදිය දිගටම ක්‍රියාත්මක වනු ඇත.මාසික වේතනයෙන් බදු ලෙස අයකරගැනෙන ප්‍රතිශතය සොයාගැනීම සඳහා දැනට සිදුකර තිබෙන ගණනය කිරීම් ඒ අයුරින්ම 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට යොදාගැනීමේ හැකියාව ඇත.’

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියගේ චක්‍රෙල්ඛයට අනුව මාසික වේතනයෙන් අයකරගත යුතු බදු ප්‍රතිශතය තීරණය වනු ඇත්තේ කිසියම් පුද්ගලයකු මසකට උපයන මුදල මතය.මාසික වේතනයෙන් බදු නොගෙවා සාමාන්‍ය පරිදි මුදල ලබාගැනීම සඳහා රැකියා නියුක්තිකයන්ට අවස්ථාව ලබාගත හැකි මාර්ගයන්ද තීරණය කිරීමට නියමිතය.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,ඔට්ටු දැමීම් හා සූදු යන ක්ෂේත්‍ර වල ආදායම් අවස්ථා ඇති තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් උපයන ලාභය මත ක්‍රියාත්මක වන සියයට 40 ක බදු ප්‍රතිශතය එළෙසම ක්‍රියාත්මක වුවද වෙනත් ක්ෂේත්‍ර වල තනි පුද්ගලයකු උපයන ලාභය මත ක්‍රියාත්මක වන බද්ද සියයට 17.5 ක උපරිමයකට යටත් කෙරෙනු ඇති බවද එහි දැක්විණ.බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ඇති තැන්පතු වලින් මේ දක්වා අයකර ගත් සියයට 2.5 ක බද්ද ඒ අයුරින්ම අයකර ගැනෙන බවද කොමසාරිස්වරියගේ චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් විය.

 

නමුත් පසුගිය සිකුරාදා මුදල් අමාත්‍යංශය දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියට නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රෙල්ඛය බල රහිත කරන ලෙසය.එය දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන්ද ඉවත් කරන ලෙස ඇයට උපදෙස් ලැබිණ.ඒ අනුව චක්‍රෙල්ඛයේ සඳහන්වූ පරිද්දෙන් එහි යෝජනා අප්‍රෙල් 1 වැනිදා සිට ක්‍රියාත්මක නොවුණි.එය කිසිසේත්ම මෝඩයාගේ දිනයේ විහිලුවක් නොවීය.මේ හමුවේ මහත් අපහසුතාවට පත්ව සිටි බදු නිලධරයෝ කිහිපදෙනෙක් පසු අවස්ථාවක කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගැනුණද එම තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනෙන තෙක් ඒවා බලාත්මක කළ නොහැකි බවය.මෙම ක්‍රියාවලිය ගැන දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ හෝ මුදල් අමාත්‍යංශයේ හෝ නිලධරයෝ දැන නොසිටින්ට කිසිසේත්ම ඉඩක් නැත.එවැනි තත්ත්වයක මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ කෙසේදැයි යන්න ගැටලුවකි.

 

වැට් බද්ද සියයට 11 ක අගයේ තැබීමට දැනට තීරණයක් ගෙන තිබේ.2016 අයවැය යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණේ සියයට 8 ක හා සියයට 12.5 ක වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීමටය.නමුත් මාර්තු හතරවැනිදා පැවැත්වුණු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී අගමැතිවරයා පැවසුවේ මෙළෙස වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීම සංකීර්ණ හා ගැටලුකාරී බවය.සියයට 15 ක වැට් බදු අගයක් පවත්වාගැනීම සුදුසු බව ඔහුගේ යෝජනාව විය.ජනසන්නිවේදන,පෞද්ගලික අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වලට ලබාදී තිබූ බදු නිදහස අහෝසි වන බවද ඔහු කියා සිටියේය.මෙලෙස සියයට 15 ක වැට් බදු අගයක් ගැන නොයෙක් අවස්ථා වලදී සඳහන් වුවද එය ක්‍රියාත්මක වන දිනය ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැත.සන්ඩේ ටයිම්ස් හට සම්බන්ධකරගත හැකිවූ රජයේ ආරංචි මාර්ගයක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡා අවසන් කිරීමෙන් පසු මෙම බදු සංශෝධන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.තවත් බදු සංශෝධන සිදුවනු ඇතිදැයි සන්ඩේ ටයිම්ස් ප්‍රශ්න කළ විට පිළිතුරු ලබාදීම එම ආරංචි මාර්ගය ප්‍රතික්ෂේප කළේය.

 

චීන සංචාරය

විශේෂ දූත පිරිසක් සමග අගමැති වික්‍රමසිංහ ලබන 6 වැනිදා චීනයේ සංචාරයක යෙදීමට නියමිතය.මලික් සමරවික්‍රම,සජිත් ප්‍රේමදාස,නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,රවුෆ් හකීම්,මංගල සමරවීර යන අමාත්‍යවරුද මෙම සංචාරයට එක්වනු ඇත.

 

රටවල් දෙක අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම් කිහිපයකි.පිටුවහල් කිරීම සම්බන්ධ එකගතාවක්ද ඇතුළුව ආයෝජන ප්‍රවර්ධනය හා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිඹද ගිවිසුම්,ජංගම වකුගඩු සේවා රථ ව්‍යාපෘතියක්,ක්‍රීඩා කටයුතු ආශ්‍රීත සහයෝගීතාව වර්ධනය කෙරෙන ව්‍යාපෘතියක්,සංචාරක කටයුතු ප්‍රවර්ධනය,දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර,චීනයේ හා ශ්‍රීලංකාවේ මහ බැංකු අතර සහයෝගීතාවක් ඇති කිරීම සදහා වන ව්‍යාපෘති,ගම්පහ,අත්තනගල්ල,මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක් සදහා ණය, දෙරටේ ජාතික විද්‍යා පදනම් අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන වැඩපිළිවෙලක් ,හම්බන්තොට අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමක් ආදී ලෙස දෙරට අතර නව සබදතා රැසක් ඇතිකරගැනීමට සැළසුම් කර ඇත.චීනය හා ශ්‍රීලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකගැනීම සදහා මූලික අදියරේ සාකච්ඡා පැවැත්වීමද එරට බලා යන ශ්‍රීලංකා දූත පිරිසේ අපේක්ෂාවයි.

 

චීනය මෙරටට ලබාදී ඇති ඇතැම් ණය කපා හරින ලෙසද දූත පිරිස එරට බලධරයින්ගෙන් ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.මෙම ඉල්ලීම සිදුකිරීමට යන්නේ චීනය වරක් නේපාලයට ලබාදී තිබූ ණය කපාහැරීමට පියවර ගැනීම සැළකිල්ලට ගෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

 

ගෙවුණු සති කිහිපය මුළුල්ලේම මුදල් ඇමැති රවී කරුණානායක රටේ වත්මන් බදු තත්ත්වය පිළිඹඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ බොරතෙල් මිලදී ගැනීම් පිළිඹඳ සොයාබැලීමට එකඟත්වය පළවිය.ඉන්දියාවෙන් හුවමාරු ණයක් ලබාගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර උතුරේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ආර්ථික කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව හමුවට යොමුකිරීමටද තීරණය විය.

 

තම තමන්ගේ මැතිවරණ කොට්ටාශ වල ජනතාවගේ අදහස් විමසීමට හා ඔවුන්ගේ අදහස් හඳුනාගැනීමට පහසුවන පරිදි කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වෙනස්කරන ලෙස අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා සිටියේය.ඒ අනුව ඉදිරියේදී කැබිනට් මණ්ඩල හමුව සුපුරුදු බදාදා දිනයේ නොව අගහරුවාදා දින උදෑසන පැවැත්වීමට එකගත්වය පළවිය.තමන් යෙදීමට නියමිත චීන සංචාරය සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ අමාත්‍යවරුන්ව දැනුම්වත් කළේය.මෙහිදී සාකච්ඡාවට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන විජයදාස රාජපක්ෂ සහ ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දෙපළ ඔවුනොවුන්ගේ ගැටලු විසඳාගත යුතුව ඇතැයි පැවසුවේය.එක් අයකු පවසන දෙය අනෙකාට නොතේරෙන බවක් පෙනී යන හෙයින් හොඳම දෙය වන්නේ රාත්‍රී ආහාර වේලක් වැනි අවස්ථාවක් සැළසුම් කර දෙදෙන එක්වී සාකච්ඡා කිරීම බව ජනපතිවරයා යෝජනා කළේය.එවන් අවස්ථාවකට අනෙක් අමාත්‍යවරුන්ටද සහභාගීවිය හැකි බව ඔහු පැවසුවේය.ඊට සියලුදෙනාගේ එකගතාවය පළවිය.

 

ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙල

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමේ මුල් පියවර ලබන අගහරුවාදා දිනයේදී තැබීමටද රජය සූදානම්ය.එම පියවර වන්නේ 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව පත්කිරීමය.මෙම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි ව්‍යවස්ථා සභාවටය.එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදීද විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සඳහන් කළද ව්‍යවස්ථා සභාව පත්කිරීමටත්,ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සදහන් නොවීම විශේෂය.

 

ව්‍යවස්ථා කවුන්සිලයට තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්ද යෝජනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයද කතානායක කරූ ජයසූරිය මහතාට භාරදී තිබෙන බවද ඔහු කීවේය.අගහරුවාදා පක්ෂ නායකයින් හා සාකච්ඡා කිරීමෙන් පසු විශ්වාසභංගය විවාදයට ගත හැකි දිනය කතානායකවරයා දැනුම්දෙනු ඇත.එක පිටුවකට සීමාවී ඇති මෙම විශ්වාසභංගයෙන් මුදල් අමාත්‍යවරයා වන කරුණානායක 2016 අයවැය යෝජනාවලියෙන් පාර්ලිමෙන්තුවත් ජනතාවත් හමුවේ රට ගැන වැරදි චිත්‍රයක් මවා ඇතැයි චෝදනා නගා තිබේ.රටේ ආර්ථික කටයුතු සම්බන්ධ අවසන් තීරණය ගන්නේ පාර්ලිමෙන්තුවෙන් බවත් ඒ හමුවේ මුදල් ඇමතිවරයා හිටපු ජනපති සමයේ ගත් රුපියල් කෝටි ගණනක ණයක් සම්බන්ධව කිසිදු වාර්තාවක් නැතැයි කියා තිබීමෙන් පාර්ලිමෙන්තුව හෑල්ලුවට ලක්කර ඇති බවටත් විශ්වාසභංගයෙන් චෝදනා නගා ඇත.තමන් මේ හමුවේ කිසිදු ආකාරයකින් කලබලයට පත්ව නොමැති බවත් චෝදනා නගන්නවුන්ට ඉදිරියේදී නිසි පිළිතුරු දෙන බවත් කරුණානායක පැවසුවේය.

 

කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද ඇතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 34 දෙනෙක් අත්සන් තබාඇති බව ගුණවර්ධන පැවසුවේය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි විශ්වාසභංගයකටද මේ වන විට අත්සන් එකතුකරගැනෙමින් පවතින බවද ඔහු කීවේය.මෙය තමන්ට මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවත් පළා නොගොස් ඊට මුහුණදෙන බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට රණවක පැවසුවේය.

 

බලමණ්ඩලය නොසන්සුන්

මහින්ද කඳවරු හා මෛත්‍රී කඳවුර ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන බෙදීම පක්ෂයේ පහළ මට්ටම් දක්වාද ව්‍යාප්තව ඇති බව පසුගිය සතියේ වූ සිදුවීමකින් පැහැදිලිව පෙනී ගියේය.නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ති මුතුහෙට්ටිගම අක්මීමනදී සංවිධානය කර තිබූ පක්ෂ බලමණ්ඩල රැස්වීමකට සහභාගීවීවූ එක්සත් ජනතා නිදහස් සනධානයේ අභිනව මහ ලේකම් මහින්ද අමරවීර මහතාට ඔහුගේ දේශනය අවසන් කිරීමට පැමිණ සිටියෝ අවස්ථාවක් නොදුන්හ.ආහාර ලෙස ලබාදී තිබූ මාළු පාන් ඔවුහු අමරවීර වෙත විසිකළහ.මේ හමුවේ ආරක්ෂකයින්ගේ පිහිටෙන් එතැනින් එවත්ව යෑමට ඔහුට සිදුවිය.

 

එදිනම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අරණායක හා මාවනැල්ල ප්‍රෙද්ශවල පැවති පක්ෂ බලමණ්ඩල රැස්වීම් වලට සහභාගීවිය.පක්ෂයේ බෙදීම් ඇතිකිරීමට කැසකවන පුද්ගලයින්ට අසුනොවන ලෙස සාමාජිකයින්ව දැනුම්වත් කරන ලෙස ජනපති සිරිසේන ඔවුනට උපදෙස් දී තිබිණ.

 

මෙම සියලු හමුවන්ලදී එක් දෙයක් පැහැදිලි විය.එනම් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිම් මට්ටමෙහි කැමැත්ත තවමත් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවය.මෙය නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන හමුවේ දැල්වෙමින් තිබෙන රතු එළියකි.පක්ෂයේ හා සන්ධානයේ නායකත්වය තමන් වෙත දිනාගැනීමට ඔහු දියත්කර තිබෙන මෙහෙයුම් අසාර්ථකව ඇති බව මේ හමුවේ පැහැදිලිය.ඔහු නායකත්වය දිනාගැනීමට වෙහෙසවෙමින් සිටින අතර රාජපක්ෂ පක්ෂයේ හා සන්ධානයේ බිම් මට්ටමේ ශක්තිය තමන් වෙත නතුකරගනිමින් සිටී.බලමණ්ඩල රැස්වීම් වලදී මෙය මනාව සනාථ විය.

 

ළග එන අවුරුදු සමය පිළිගැනීමට රට සූදානම්ද යන්න ගැටලුවකි.පසෙකින් විදුලිය කප්පාදු කිරීම්ය.අනෙක් පසින් දිනෙන් දින ඉහළ යමින් තිබෙන භාණ්ඩ මිලය.පිටි මිල ඉහළ ගිය නිසා ඒ ආශ්‍රීත නිශ්පාදනය මිලද මේ වන විට ඉහළ ගොස්ය.ඒ අතර නව බදු පැනවීම් ගැන කතාබහය.ශ්‍රීලාංකිකයන් වන අපට විනෝද වීමට ඇති කාලය තවත් දුරය. තදව ඇති පටි තවත් තද කරගන්නවා හැරෙන්නට වෙන කළයුතු දෙයක් දැනට පෙනෙන්නට නැත.



අදහස් (0)

ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල

සලීම් Sunday, 03 April 2016 05:56 PM

මොන සැළසුම් තිබුනත් තේ, රබර් සඳහා හොඳ මිලක් නැත්නම් කුලී වැඩ කරන දුගී ජනතාව කබලෙන් ළිපට (නි)

:       0       0

මනෝජ් Monday, 04 April 2016 12:18 AM

බිම් මට්ටමේ බුද්ධිමත් නිශ්ශබ්ද අය ලක්ෂ 15 ක් විතර රටේ ඉන්න බව අමතක කරන්න එපා. ඒ අය තමයි ආණ්ඩු තීරණය කරන්නේ. (නි)

:       0       0

ධම්ම Monday, 04 April 2016 10:49 AM

අවුරුද්දයි මාස තුනක් කියන්නේ රාජ්‍ය කාලයෙන් පහෙන් එකක්. භාණ්ඩාගාරේ සල්ලි නෑ කියලා රටට කියන්න ගතකරපු කාලය වැඩියි. වෙනස දකින්න වෙන්නේ ඊළඟ ආණ්ඩුවේදී වගේ. (ර)

:       0       0

කමල් පෙරේරා Monday, 04 April 2016 04:18 AM

රටේ ප්‍රධාන ආයතන වල කර තිබෙන මෙම පාඩුව මහා ජනතාව වෙත නොපටවා අදාල නිලතල දැරුවන්ගෙන් අයකර ගත යුතුය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 71 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 676 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1574 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3516 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1840 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 698 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38066 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 799 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site