විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති ෂි ෂියෑන්ග් ලියෑන්ග් මහතා අතර විශේෂ හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි පවසයි.
චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් වල පොලී අනුපාතය සම්බන්ධයෙන් මෙරට මුදල් ඇමතිවරයා සහ චීන තානාපතිවරයා විසින් මාධ්‍ය හමුවන් දෙකකදී සිදු කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වේ.
එම ප‍්‍රකාශයන් පිළිබද චීන තානාපතිවරයා ගෙන් නිසි තොරතුරු විමසීමක් කර ඇති වී තිබෙන ගැටලූකාරී තත්ත්වය විසඳීමට විදේශ අමාත්‍යවරයා එහිදී කටයුතු කිරීමට නියමිතය.
මුදල් ඇමතිවරයා විසින් ඉකුත් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් වල පොලී අනුපාතය මිළ අධික බව ප‍්‍රකාශ කළ අතර චීන තානාපතිවරයා ද කොළඹ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊට පිළිතුරු වශයෙන් චීනයේ ණය පොළි අනුපාතය වැඩිනම් තවදුරටත් ශ්‍රී ලංකාව චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි විමසා සිටියේය.
ඉකුත් බ‍්‍රහස්පතින්දා මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් චීන තානාපතිවරයා කළ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගෙන් යළිත් විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා මිසක් චීනයේ මුදල් ඇමතිවරයා නොවන බවය.
මේ අතර ඇතිවූ මෙම තත්ත්වයත් සමඟ මුදල් ඇමතිවරයා ද චීන තානාපතිවරයා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාට පැමිණිල්ලක් කර ඇතැයි එම අමාතයාංශ ආරංචි කියයි.
මේ අතර චීන තානාපතිවරයාද ඉකුත් කාලයේදී එම ධූරයට නොගැළපෙන ආකරයෙන් කටයුතු කර ඇතැයි යන්න රජයේ පාර්ශවයන් ගෙන චෝදනා එල්ල වෙමින් පවතින්නේ යැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හදිසි වුණාම අපිත් ගිහිල්ලා ගිනි පොළීකාරයෝ හම්බු වෙනවානේ (නි)
අනේ මෙයාලට බටහිරින් ලැබුණු දෙයක් නැහැනේ. චීනයට බැනවැදුනු අයට දැන් චීනයට වන්දනාමාන කරන්න වීම සරදමක් නොවේද? (නි)
ඔය චීන්නු නම් ඕනෑවට වැඩියි. පස්සට නම් යන්න එපා
තීරණාත්මක අවස්ථාවකදී ඇමරිකන් ඉන්දියන් කපටි ආරක්ෂකයන්ගේ ග්‍රහණයට නතුව බෙදුම්වාදයට ජය ලබාදීම මේ යන ගමනේ අවසානයද. රටේ ආරක්ෂාව අභ්‍යන්තරයේදී මොට කිරීම දැන් ශීඝ්‍රයෙන් සහජීවනයේ නාමයෙන් සිදුවන අතර ජාත්‍යන්තරයේදී රට අනාරක්ෂිත කිරීම හා සැබෑ මිතුරන් කළකිරවීම මෙවැනි දෑ හරහා අපේක්ෂිත ඉලක්ක වනු ඇත
නුතන චීනයේ නිර්මාතෘ විසින් පෙන්වාදුන් මුලධර්ම මත ගොඩනඟන ලද රාමුවෙන් චීනය අපගමනය වනු අැතැයි සිහිනෙන්වත් නොසිතිය යුතය. ඒ නිසා වත්මන් පාලනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගෞරවනීය නොබැඳි පිළිවෙත අනුගමනය කරන්නේ නම් විසඳුම ඒ සමඟම අප වෙත ළඟාවනු ඇත. (නි)
මෙයා ඉතින් මොනවා කියන්නද .දෙකට නැවිලා තව ණයක් ඉල්ලයි (බ)
යු එන් අකේදී අපිට උදව් කළේ චීනේ, රුසියාව සහ තව රටවල් කීපයක් විතරය්. ඉන්දියාව බටහිර රටවල පදේට අපිට විරුද්ධව ඡන්දෙ දුන්න මතක නැද්ද. අපේ සෙබළු කොටු වෙලා හිටපු වෙලාවේ ආයුධ දුන්නේ ඉන්දියාවවත් බටහිර රටවලුත් නොවෙයි. එකපාරක් පෝර්ට් සිටි එක නවත්තල අනාගත්ත. පොර ටෝක් දාල මේ පාර නම් සැහෙන කාලෙකට මතක හිටින කෑමක් කන්ඩ තමයි හදන්නේ. (බ)
අනේ ලුම්බිණි, අපි වගේ අය කියන ඒවා චීනය අසයිද? නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
දැන් විදේශ රාජ්‍ය ත්‍රාන්තික සබඳතා උඩු යටිකුරු වෙලා .30 අවුරුදු රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට උදව් කළ මිත්‍ර රටවල් අද තරහ කරගෙන ත්‍රස්තවාදීන් පෝෂණය කළ රටවල් වල් වලට තුරුළු වෙලා .(ම)
මිලින්ද, ඉන්දියානුවන්ගේ කොලනියක් වනවාට වඩා චීන කොලනියක් වීම හොඳයි. බුද්ධාගම ලැබුනට වඩා දෙයක් ඉන්දියාවෙන් අපට ලැබිලා නැත. අපට විඳවන්න ඉන්දියාවෙන් ලැබුනේ ත්‍රස්තවාදය සහ ත්‍රීවීල් වසංගතයයි (නි)
දැන්වත් ඔය චිනාව අතේ දුරින් තියාගන්න බැරි දේශපාලකයන් අනාගතයේ දවසක චිනාගෙන් අපේ රටට සිදුවන විනාශයන්ට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. අමතක කරන්න එපා. ඊයේ ටිබෙටය... හෙට ශ්‍රී ලංකාව නොවන්නේ යැයි කාටවත් කිව නොහැකිද. (නි)
ඕවට අපි නම් කියන්නේ ලැජ්ජා නැතිකම විදේශ ඇමතිකමටත් වැඩිය ලොකුයි කියලයි (නි)
චීන තානාපති කර ඇත්තේ නොගැළපෙන දෙයක් යනු මගේ හැඟීමයි. විදේශ අමාත්‍යවරයා මොහුට අවවාද කළයුතුයි.
ණය ගැනීම හෝ පොළී ගෙවීම පිළිබඳ පසුගිය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවුයේ, ඒ ගනුදෙනු පිළිබඳ විවෘතභාවයක් හෝ විනිවිදභාවයක් නොතිබුන නිසයි. එක ආණ්ඩු කාලයකදී "කරන කලට පව් මිහිරිය මී සේ". වෙනත් ආණ්ඩුවක් පත්වුණහම "විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ" වෙලා වගේ. අපේම දුර්වලකම් තුළින් අපි ලෝකයට ණය වෙනවා පමණක් නොව බාල්දුවීමකුත් වෙනවා. අප විසින් කළයුත්තේ වෙනත් රටවල් අප දෙස බලන ආකල්ප සුභවාදී වන ලෙස ආර්ථික ප්‍රතිපත්තිය සකසා ගැනීමයි. (නි)
මේ යහපාලනය අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹට විඳවන්න වේවි දූ දරු මුණුබුරු, මිණිබිරියන් සමග ඉදිරි දශක දෙක තුනක්වත්. (නි)
නිකන් කළුගලේ ඔලුව ගහගන්නේ නැතුව හිටියොත් හොඳයි. රට අන්තිම සතේට හිඳිලා ඉන්න වෙලාවේ හදිස්සියකට ණයක් හරි දෙන්න ඉන්නේ චිනේ විතරයි. (ර)
මොකද මෙයා ලංකාවෙන් ඡන්දෙ ඉල්ලන්නද හදන්නේ? රවී එක එක්කෙනාගෙන් කොමිස් අරන් නැති නිසා ඇත්ත කතා කරන්න බයවෙන්න අවශ්‍ය නැහැ. අපි කාගෙවත් කොලනිවල අය නෙමෙයි. මේක නිදහස් රටක්. හැමෝම තරඟෙට ණය අරගෙන දැන් පොළීකාරයෝ කෑගහනකොට ලැජ්ජාවේ බැහැ. ඔය ගත් ණය වලින් මොනවද ලංකාවට කරලා තියෙන්නේ? වැඩිහරියක්ම හිටපු පාලකයෝ හොරකම් කරලා (නි)
අපි බය නැහැ. අපිට යූ.එස්.ඒ., ඉන්දියා ඉන්නවා. ඒගොල්ලෝ උඩ පැන පැන ණය දෙන්නේ. දීලා ඉවරයක් නැහැ. මේ අවුරුදු 3 යනකන් ඉන්නේ. (නි)
සමහරු රට කනවා මදිවට බොරුවට උඩුබුරනවා. එන්නෙ නැතෑ ඡන්දෙකට ආයෙත් (නි)
රටවල් තරහ කරගත්තා කියලා මහින්දට කියපු අය දැන් මේ කරන්නෙ මොනවාද? (නි)
පසුගිය ඡන්ද කාලේ චීනය පතුරු ගසා, දැන් ඔවුන් දෙපාමුල නමස්කාර කරමින්, කිසිවකු නොමැතිවිට නියම මිතුරා මතක්වනවා (නි)
ඇමෙරිකන් කොටි හුරතල් විතරක් අන්තිමට රටට ඉතුරුවෙයි වගේ (නි)
රවී මුදල් ඇමතිකමට ගැනීම පිළිබඳ අපේ නම් කිසිදු ප්‍රසාදයක් නොමැත (නි)
වෙළඳ පොළ ගැන අවබෝධයක් නැති අයට ඉහළ තනතුරු දීමෙන් රටට වී තිබෙන හානිය දැනටත් අපිට පේනවා (නි)
ලංකාවේ දේශපාලකයාට මුල මතක නැහැ. දැන් ඉන්දියාව අල්ලාගෙන කියවනවා. යුද්ධය ඉවර කරන්න චීනය සහය දෙනකොට ඔය මහලොකු ඉන්දියාව කොහෙද හිටියේ කියලා ලංකාවේ මිනිස්සු දන්නවා. කට හින්දලු මාළුවා නහින්නේ..!! (නි)
මොන හමුවක්ද? රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න ලංකාව චීනයේ කොලනියක් කියා හිතුවද දන්නේ නැහැ. (නි)
පොළීකාරයන් ගෙදරටම ඇවිල්ලා සද්දේ දානකොට ලැජ්ජා නැද්ද? ණය කෙසේවෙතත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න ලංකාව චීනයේ කොලනියක් නෙමෙයි. මුදල් ඇමතිතුමා එය පැහැදිලිව කියා තිබෙනවා නේද? (නි)
මුලින් ආ කණට වඩා පස්සේ ආ අඟ ලොකුවුණාම මෙහෙම දේවල් වෙනවානේ (නි)
තාවකාලික මිතුරන්ට වඩා සදාකාලික මිතුදමක් ඇති චීනය සමග නෝක්කාඩු නොවිය යුතුයි . (ර)