(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම කතානායකවරයා විසින්ම ප්‍රතික්ෂේප කිරීම වරප්‍රසාද කඩ වීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා කතානායකවරයාගේ අපක්ෂපාතීත්වය සම්බන්ධව ව්‍යවස්ථාමය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන නමුත් මේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබේ කියා විශ්වාස නොකරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

"දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අදහස් පළ කිරීමේ හා භාෂණයේ නිදහසටත් සීමා පමුණුවලා. අද වන විට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ, අදහස් පළ කිරීමේ හා භාෂණයේ නිදහස සීමා කරලා.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය ජනතාව සතුවන අතර 4 (ආ) ව්‍යවස්ථාව අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුව යනු යම් පාර්ශ්වයක අභිමතය පරිදි ක්‍රියාත්මක වන ආයතනයක් නොව ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක ආයතනයක් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.