(උපාලි ආනන්ද)

කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් ගතකර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් මහව මහේස්ත්‍රාත්‍ අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය යළි ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා එළැඹෙන දෙසැම්බර් මස 9 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරිණ.

කාවන්තිස්ස හස්තියාගේ වෙළෙඳපොල වටිනාකම සමිබන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් විධිමත් තක්සේරු වාර්තාවක් මී ළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය කාවන්තිස්‌ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වනජීවි නිලධාරින්ට නියෝග කරනු ලැබිය.

කාවන්තිස්‌ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාල නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත්‍ අධිකරණයේත් කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබිමේ සිද්ධියට අදාල නඩුව මහව මහේස්ත්‍රාත්‍ අධිකරණය හමුවෙත් පැවතීම නෛතික ගැටලුවක් බවද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ අනුව මෙම නඩු දෙකම එකම මහේස්ත්‍රාත්‍ අධිකරණයක් තුල පවත්වාගෙන යාමට අවශ්‍ය නිති උපදෙස් නීතිපතිවරයාගෙන් ලබා ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරිය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණ.