(සුජිත් හේවාජුලිගේ )

බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී  චම්පික රණවක මහතාගෙන්  ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන  ජනාධිපති කොමිෂන් සභාව  අද (04) ප්‍රශ්න කර ප්‍රකාශයක්  සටහක් කර ගත්තේය.

කොමිසමෙන් කෙරැණු දැනුම් දීමක්  අනුව රණවක මහතා අද පස්වරැවේ   එහි  පෙනී සිටියේය.  

විවිධ චෝදනා සම්බන්ධයෙන් ගල්අඟුරු  කොමිෂන් සභාවෙන් රණවක මහතාට  පසුගියදා නොතීසී නිකුත් කෙරිණ.    ඔහුගෙන්  මෙසේ    ප්‍රකාශයක්  සටහන්   කර   ගැනුණේ     එ් අනුව  බව එහි  ආරංචි මාර්ග සදහන් කළේය.

චම්පික රණවක මහතා  බලශක්ති  අමාත්‍ය   ධූරයෙහි   2010 අප්‍රියේල් මස 23 සිට 2013 ජනවාරි 28 දක්වාද   ඉන් පසු   ෙෙමත්‍රීපාල සිරිසේන  රජය  යටතේ  2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වාද කටයුතු කළේය.

කොමිසමේ  නිල  කාලය  ලබන  දෙසැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මේ අතර ගල්අඟුරු ගනුදෙනු    සම්බන්ධයෙන්  කොමිසමට    පැමිණ   කරුණු ඉදිරිපත් කරන  ලෙස  ජනාධිපති කොම්ෂන් සභාව  විදුලි බල  හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන   එම්.සී.සී ෆර්නැන්ඩෝ  මහතාට දැනුම්දී ඇතත්   ඊයේ වනතුරැද   ඔහු  කරුණු ඉදිරිපත්   කර  නොතිබූ බව වාර්තාවේ.

දැනට විදේශයක සිටින   ෆර්නැන්ඩෝ   මහතා  විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද  කාලයක් කටයුතු කළේය.

ගල්අඟුරු ගනුදෙනු  සම්බන්ධයෙන් කොමිසම  විවිධ   ප්‍රධානීන් 72 කගෙන්  සාක්ෂි සටහන් කර ගෙන ඇති  අතර ප්‍රකාශ සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370කි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන  මහත්වරු  කටයුතු කරති.