(අංජුල මහික වීරරත්න)

පරිවර්තනයට අකමැති පැරණි දේශපාලන නෂ්ඨාවශේෂ මොනවා කරන්නදැයි හිතාගන්න බැරිව මනස වියවුල් බවට පත් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික විද්වත් සමුළුව අමතමින් අද පැවසීය.

මැටි රූපවලට කටු ගහන්න තරම් ඔවුන්ගේ  මනස වියවුල් වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති මෙම හමුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

පරිවර්තනයක් කරන හැම වෙලාවේම පැරණි දේශපාලන නෂ්ඨාවශේෂ පරිවර්තනයට විරුද්ධව නැගිටිනවා.පරිවර්තන අඩපණ කරන්න උත්සාහ කරනවා. මොනවද නොකියන්නේ.ජාතික ජන බලවේගය විසින් රුවන්වැලි සෑ චෛත්‍යය රාජයාණන් වහන්සේ ගිලා බස්සන්න සූදානම් වනවායැයි එක්කෙනෙක් ළඟදි කියනවා දැක්කා.හරි නම් කියපු බොරුවට එයා පොළොව පලාගෙන යන්න ඕන.

පරිවර්තනයට ඔරොත්තු දෙන්නේ නැතිවුණාම මනස වියවුල් කරනවා.මොකක්ද කරන්නේ මොකෙන්ද බනින්නේ කියලා හිතාගන්න බැරි වෙලා.ඔවුන්ගේ ප්‍රකාශ වෛරී ප්‍රකාශ බවට පත්ව තිබෙනවා.ක්‍රියාකාරකම් විගඩම් බවට පත්වී තිබෙනවා.මේ පරිවර්තනය ඔවුන්ගේ සුවදායී ජීවිත වලට බලපෑම් කරනවා.

මේ පරිවර්තනයට සූදානම් නැති අයගේ හැසිරීම් ස්වරූප හොඳින් බලන්න .වියවුල්  සහගත නැද්ද?

මැටි රූපෙකට කටු ගහන්න පොළඹවන්නේ මොන මනසද?ඔවුන් මැටි රූපෙකට කටු ගහලා මට කටු ඇනෙනවා කියලා හිතනවා.

විධිමත් සංවිධානගත දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාර රටකට හානි කරන්නේ නැහැ.දැක්මක් නැති වුනාම මොකද වෙන්නේ?තමන් පත්වී තිබෙන මානසික වියවුල මොන ආකාරයෙන් ප්‍රකාශයට පත් කරාවිද කියා හිතාගන්න බැහැ.ඒක තමයි මෙතන තියෙන අනතුර යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.