(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසරේ (2026) පළාත් පුහුණුකරු සහ සුපිරි පළාත් පුහුණුකරු තනතුරු සඳහා පුහුණුකරුවන් බඳවා ගැනීම් ක්‍රියාවලියේදී අසාධාරණකම් සහ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් හිටපු පුහුණුකරුවකු වන හර්ෂ නිරංජන් බණ්ඩාර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරු තනතුරු සඳහා අයදුම් කළ තමන්ට අවශ්‍ය සුදුසුකම් සහ පුහුණුකරණ ක්ෂේත්‍රයේ දීර්ඝ පළපුරුද්ද තිබියදීත් සාධාරණ අවස්ථාවක් හිමි නොවූ බව පැමිණිලිකරු එම පැමිණිල්ලෙන් අධිකරණයට කරුණු දක්වා තිබේ.

තමන්ට පළමු, දෙවැනි සහ තෙවැනි මට්ටමේ පුහුණුකරු සුදුසුකම් මෙන්ම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ පුහුණුකරණ අත්දැකීම් ද ඇති බව පවසන පැමිණිලිකරු බඳවා ගැනීම් ක්‍රියාවලියේදී පැවැත්වූ කුසලතා ඇගයීම් ( Skill Audit) සහ තේරීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවත් විශේෂයෙන්ම තේරීම් සඳහා භාවිත කළ නිර්ණායක, අයදුම්කරුවන් ලබාගත් ලකුණු සහ අවසන් තීරණ ගැනීමේ පදනම පැහැදිලිව හෙළි නොකිරීම හේතුවෙන් මෙම ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු මතුව ඇති බවත් හර්ෂ මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම තමන් ආබාධයකට ලක්ව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කාලයේ නිරතව සිටියදී සේවා ගිවිසුම දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් ද පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අදාළ බඳවා ගැනීම් ක්‍රියාවලිය නීත්‍යනුකූල නොවන සහ අසාධාරණ ක්‍රියාවලියක් බවට ප්‍රකාශ කරන ලෙසත්, තේරීම් සඳහා භාවිත කළ ලකුණු, නිර්ණායක සහ අදාළ ලේඛන හෙළි කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනංයට නියෝග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

අදාළ තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීම තාවකාලිකව වළක්වා, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු නව තේරීම් ක්‍රියාවලියක් පවත්වන ලෙස ද ඔහු අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ. මෙහිදී පැමිණිළිකරු වන හර්ෂ නිරංජන් බණ්ඩාර මහතා වගඋත්තකරුවන් 13 ක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්ථන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සහ ලේකම් ප්‍රකාෂ් ශාෆ්ටර් යන මහත්වරු ඇතුළු එම කමිටුවේ සාමාජිකයන් 9 දෙනාම එයට ඇතුළත් කර තිබේ.