සුජිත් හේවාජුලිගේ

මැති ඇමතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් අසූවකට ආසන්න පිරිසක් විවිධ මහපරිමාණ වගා කටයුතුවලට යොමුවී සිටින බව, පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

බොහෝ පිරිසක් සිය ආර්ථික ශක්තිය වර්ධනයකර ගැනීම සඳහා විවිධ භෝග වගාවන්හි නියැළී සිටින අතර, තවත් සමහරකු වගාකටයුතුවල නියැළී සිටින්නේ විනෝදාස්වාදය සඳහා බව පැවසේ.

රංජිත් සියඹලාපිටිය, තිස්ස කරල්ලියද්ද, නිර්මල කොතලාවල, ආචාර්ය හර්ෂ ද සිල්වා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එස්. බී. දිසානායක, චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, කේ.ඩී. ලාල්කාන්ත මෙසේ වගා කටයුතුවල නිරතව සිටින දේශපාලඥයෝ කිහිපදෙනෙක් වෙති.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රකට ගොවි පවුලකින් පැවත එන්නකු වන අතර, දේශපාලනයට පිවිසීමට පෙර මෙන්ම දැනට ද ඔහු මහා පරිමාණයෙන් වී වගා කටයුතු වල නිරත වේ. හිටපු කථානායක චමල් රාජපක්ෂ ද හම්බන්තොට, බූන්දල ප්‍රදේශයේ සිය පුද්ගලික ඉඩම්වල වී වගාව, අතිරේක භෝග සහ සත්ත්ව පාලන කටයුතු සාර්ථකව කරන බව ප්‍රසිද්ධ කරුණකි.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක හඟු‍රන්කෙත සහ මහනුවර ප්‍රදේශවල  සිය වතුයායන්හි එළවළු, පලතුරු මෙන්ම කුළුබඩු බෝග වගා කටයුතුවල නිරත ව සිටියි.

අනුර පියදර්ශන යාපා දේශපාලන කටයුතු අතරතුර පොල්වගාව සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු වල ක්‍රියාකාරීව නිරත වන්නෙකි.

කේ. ඩී. ලාල්කාන්ත (වත්මන් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය) දේශපාලනයට අමතරව අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික මට්ටමින් වගා කටයුතුවල නිරත වී සිටින ගොවි ජනතාව සමග සමීප සම්බන්ධතාවක් දක්වන නායකයෙකි.

මේ අතර මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවීමෙන් පසු ආදායම් මාර්ග නැතිවුණු  හිටපු මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් ද සිය වතුපිටිවල වගා කටයුතු ආරම්භකර තිබෙන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පැවසීය.