(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම, පසුගිය ඔක්තෝබර් 07 වන දින කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 20 වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.

2027 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.

මේ අතර මේ වසරේ පළමු මාස 9 තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් ඉහළ ගොස් තිබේ.

2025 වසරේ පළමු මාස 9 තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් පැවති නමුත් මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව මේ වසරේ මුල් මාස 9 තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4594.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.