(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශය පුරා පැවැත්වෙන විරෝධතා උත්සන්නවීමත් සමග රාජ්‍ය දේපළවලට හානි කළ 1200 කට වැඩි පිරිසක් එරට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටපුරා පැවැති විරෝධතාවලට 5,50,000 ක ජනතාවක් සහභාගී වී ඇති අතර පැරිස් අගනුවර පැවැති විරෝධතාවලට ලක්ෂයකට වැඩි ජනතාවක් සහභාගී වී තිබිණි. දරාගත නොහැකි ජීවන වියදම වත්මන් විරෝධතාවලට හේතුව වී ඇත. කෙසේ නමුත් එරට පාසල් සිසුන් විරෝධතා රැල්ල ආරම්භ කර තිබූ අතර ගිම්හාන නිවාඩුවෙන් පසුව පාසල්වල තත්වය එයට හේතුව වූවේය.

පැරිසියට ගිනිකොන දෙසින් පිහිටි ක්‍රෙටෙයිල්හි උසස් පාසලක, කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන් පළමු විරෝධතාව පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැත්විණි. විශේෂයෙන් අඩු ආදායම් පවුල් සිටින ප්‍රදේශවල පාසල්වල අඩුපාඩු විරෝධතාවලට හේතු වූවේය. නමුත් පසුව සිසුන් ආරම්භ කළ විරෝධතාවලට විශාල පිරිසක් එකතු වී තිබූ අතර එම පිරිස විරෝධතාවලට එකතු වීමට හේතුව ලෙස ඉහළ ජීවන වියදම පෙන්වා දී තිබිණි.

පැරීසිය ඇතුළු නගර කීපයක විරෝධතා ප්‍රචණ්ඩ වී තිබුණු අතර මාර්සෙයිල්හිදී, කළු ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවන් නගර සභා ගොඩනැගිල්ලට ඇතුළු වී එයට හානි කර ඇත. එසේම ලියොන් නගරයේදීද විරෝධතාකරුවන් පිරිසක් නගරයේ සංචාරක කාර්යාලයට ගිනි තබා තිබුණේය.

තවත් විරෝධතාකරුවන් ප්‍රංශය පුරා ගොඩනැගිලිවලට හානිකර ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. එසේම කොල්ල කෑමේ සිදුවීම්ද වාර්තා වන බව පැවැසෙයි. මධ්‍යම ප්‍රංශයේ ලිමෝජ්හි නගර ශාලාවද විරෝධතාකරුවන් ගිනි තබා තිබිණි