(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අැතුලු සාමාජිකයන්ගේ  දීමනා  අැතුලු පහසුකම්  වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී  ඉදිරි දිනවල සම්මත කිරීමට නියමිතය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.

මේ අනුව සභාපතිවරයාගේ දීමනාව රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි වනු අැත. මෙයට අමතරව ඔහුට නිල රථයක්  හිමිවන අතර  ඊට    නිකුත් කෙරෙන   ඉන්ධන ලීටර් ප්‍රමාණය 150 කි.

මීට  අමතරව  ජංගම දුරකතන බිල්පත්  ප්‍රතිපූරණය කිරීමද  සිදුකෙරේ.

එසේම  කොමිසමේ සාමාජිකයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක  දීමනාවක් හිමිවෙයි.

එසේම නිල රාජකාරී සඳහා සහභාගි වීමට ප්‍රවාහන වියදම් සහ අනෙකුත් වියදම්ද   පිරිනමනු  ලැබේ.

තවද ඔවුන්ගේ ජංගම දුරකතන බිල්පත්  ප්‍රතිපූරණය කිරීමද  සිදුකෙරේ.

යෝජනාවට  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවට   ඉංජිනේරු නීති හෝ ව්‍යාපාර කළමනාකරන ක්ෂේත්‍රයන්හි සුදුසුකම් හා පලපුරුද්ද සහිත කොමසාරිස්වරු පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවය මත  පත් කෙරෙති.