(අංජුල මහික වීරරත්න)

නාට්‍ය කලාව තවදුරටත් දියුණුවෙන් දියුණුවට පත්වීම තම බලාපොරොත්තුව බව මනමේ නාටකයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

තමා අතීතයේ මනමේ නාටකය සහ ඊට සමකාලීන නාට්‍ය චිත්‍රපටි නැරඹූ ආකාරය ගැන මතකය අලුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

අවුරුදු 70කට පෙර මගේ පියා විසින් මමත් සහෝදර ශාන් සහ මගේ මව ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවට රැගෙන ගියා.

ඒ ගියේ පියා හොඳටම දන්න, එතුමාත් සමග ලේක් හවුස් ආයතනයේ වැඩ කරන එදිරිවීර සරත්චන්ද්‍ර මැතිතුමාගේ නාට්‍යය බලන්නයි. සරත්චන්ද්‍ර මැතිතුමා ටිකට් පත් දීලයි මේ ආරාධනාව කර තිබුණේ.

මා අම්මගෙන් ඇසුවා මේ මොකක්ද කියා. ඇය මට කීවා මෙය පරණ කතාවක්, වැදි රජවරුන් පවා මේ නාට්‍යයේ ඉන්නවා කියලා. අප දැනගෙන හිටියේ නැහැ සම්පූර්ණ කතාව. මීට පෙර සිරි සඝ බෝ නාට්‍යය පෙන්වන්න වයි.එම්.බී.ඒ. ශාලාවට අප රැගෙන ගොස් තිබුණා

අප ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගිය අවස්ථාවේදී එයින් භාගයක්වත් පිරී තිබුණේ නැහැ.

නමුත් ඒ නාට්‍යය අප හිතුවට වඩා හොඳයි. එතැනදී මනමේ කුමරි හැටියට ට්‍රිලීෂියා අබේසේකරත්, මනමේ කුමාරයා හැටියට බෙනඩික් සිරිමාන්නත් හිටියා, පොතේ ගුරා හැටියට ශාමෙන් ජයසිංහ හිටියා, වැදි රජු හැටියට සිටියේ එඩ්මන්ඩ් ජයසිංහ සහ දෙටු රජ හැටියට ලයනල් ප්‍රනාන්දු.

මේ සියලු දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් . පසුව මේ නාට්‍යය වේදිකා ගත කරද්දී ශාලා පිරී ඉතිරි ගියා. විශේෂයෙන්ම මට මතකයි ට්‍රිලීෂියා අබේසේකරත්, බෙනඩික් සිරිමානත් වේදිකාවෙන් පිටවී යන අවස්ථාවේදී පසුබිමින් ඇසුණු ගීතය. ඒ සින්දුව තමයි “ප්‍රේමයෙන් මන රංජිත වේ...”.

එය නරඹා මාසයක් ගත වන්න පෙර අපේ අම්මා කිව්වා චිත්‍රපටයක් බලන්න යමු කියලා. ඒ “රීගල්” සිනමා ශාලාවටයි.

මා පුදුම වුණා, මොකද අප සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් දෙපාරක් විතරයි චිත්‍රපටයක් එහෙම නැතිනම් නාට්‍යයක් බලන්න යන්නේ. ඉතින් අප අම්මගෙන් ඇහුවා මොකක්ද මෙහි තිබෙන විශේෂත්වය කියලා. ඒ අවස්ථාවේදී මගේ මව පැවසුවා මේ චිත්‍රපටයේ මාගේ නැන්දා කෙනෙකු වන අයිරාංගනී සේරසිංහ මහත්මිය රංගනයෙන් දායක වෙනවා කියලා. අපි එතුමිය ආමන්ත්‍රණය කළේ චන්ඩි නැන්දා යනුවෙනුයි. මට මතකයි රීගල් ශාලාව එදා පිරිලා තිබුණා.

ඇත්ත වශයෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ වැඩ කටයුතු කර ලැබු පුහුණුවෙන් තමයි, මේ චිත්‍රපටය නිර්මාණය කළේ.

ඒ චිත්‍රපටයේ බොහෝ සෙයින් ප්‍රසිද්ධ වු ගීතයක් මට මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ඒ තමයි “ඕලු නෙළුම් නෙරිය රඟාලා...” ගීතය. එය ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා.

වර්ෂ 1956 දී තමයි නවීන සාහිත්‍ය වෙනුවෙන් මනමේ නාට්‍යයත්, චිත්‍රපටියත් ආරම්භ වුණේ.

ඊට පෙර වර්ෂ 1952 කාලයේදී විශේෂයෙන්ම එවකට හිටපු ආණ්ඩුකාර සෝල්බරි සාමි මැතිතුමා යටතේ කලා මණ්ඩලයක් හැදුවා. ඒ කලාවට උදව් කරන්නයි. ඒ දුන්න උදව් උපකාර සමඟ තමයි මේ සියල්ලම බිහි වුණේ.

සරත්චන්ද්‍ර මැතිතුමා සිංහල සංස්කෘතික ආයතනය සමඟ සම්බන්ධ වුණා. මගේ මවත් එතැන වැඩ කළා. මමත්, මගේ සහෝදරයත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් උඩරට නැටුම්, පහතරට නැටුම් මේ සියල්ලක්ම ඉගෙන ගත්තේ සංස්කෘතික ආයතනයෙනුයි.

ඒ අවස්ථාවේදී තමයි සිංහබාහු නාට්‍ය එළිදැක්වීමට කොළඹට ගෙනාවේ. එයත් මනමේ වගේම ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වුණා. එහි සිංහ සීවලී ලෙස මාක් ඇන්තනි ප්‍රනාන්දු මෙන්ම ටෙරන්ස් සිල්වා වැනි අය රංගන දායකත්ව ලබාදී තිබුණා. එහි ප්‍රසිද්ධියට පත් වුණු ප්‍රධානම ගීතය වුණේ “ගල් ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා...” යන ගීතයයි.

එතැනදීත් ඇති වු සිද්ධියක් මට මතකයි. ඒ කාලේ තිබුණේ අද වගේ ද්‍රවිඩ පෙරමුණ නොවෙයි, නමුත් ද්‍රවිඩ අය නියෝජනය කරන්න විශේෂයෙන්ම උතුරේ නැගෙනහිර අය නියෝජනය වෙනුවෙන් ෆෙඩරල් පක්ෂයක් පැවතුණා.

ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානම නියෝජිතයා වුණේ ඩොක්ටර් නාගනාදන් මහතායි. එතුමා අපේ පවුලේ හොඳ හිතවතෙක් වූවා. දවසක්දා විශාල වාදයක් ගියා. ඒ මගේ මවයි ඩොක්ටර් නාගනාදන් මහතා අතරයි.

ඩොක්ටර් නාගනාදන්ට ටිකට් එකක් අවශ්‍ය වුණා සිංහබාහු නාට්‍ය බලන්න. අපේ අම්මා කිව්වා ප්‍රවේශ පත්‍ර සියල්ලම විකිණිලා ඉවරයි කියලා. නමුත් එතුමා එය පිළිගත්තේ නැහැ. එතුමා වාද කළා. පසුව අපේ අම්මාට සිදු වුණා තව පුටුවක් ගෙනල්ලා වේදිකාව ළඟ දාන්න.

ඒ කාලේ සිංහල, දෙමළ ප්‍රශ්න තිබුණේ පාර්ලිමේන්තුව තුළ පමණයි. ඒවා ඇත්ත වශයෙන්ම එළියට ආවේ නැහැ. ඒ අයත් ලංකාවේ තිබෙන සිංහල නාට්‍ය ගැන විශේෂ ඇල්මක් දැක්වූවා.

ඉන් පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනාවා, ගම්පෙරළිය චිත්‍රපටිය. ඒ මාර්ටින් වික්‍රමසිංහගේ පළවෙනි නවකතාව ඇසුරිනුයි. එහි විශේෂත්වයක් තිබුණා. එහි ගීත ඇතුළත් වුණේ නැහැ. එහි තිබුණේ සංගීත ඛණ්ඩ දෙකයි. එකක් විවාහය කාලේ දැම්ම බටහිර සින්දුවයි. අනික නන්දා මාලනී විසින් ගායන කළ දරු නැළවිල්ලයි.

ඊට පසුව 1970 වර්ෂයේදී පමණ මගේ මව තීරණය කළා, සරත්චන්ද්‍ර මැතිතුමා එක්කත් සාකච්ඡා කර මනමේත්, සිංහබාහුත් තැටිගත කරන්න. මගේ සහෝදර ශාන්ට ඒ කාලේ තැටිගත කරන සමාගමක් තිබුණා. ඒ අනුව අප ඒ දෙකම තැටිගත කළා. විශේෂයෙන්ම මුද්‍රණය කරපු කවරවල දාලා තමයි ඒවා බෙදා හැරියේ. අද ඉන් කොපි කිහිපයයි තිබෙන්නේ. ඒවා හුඟක් වටිනවා. මා සතුව තිබුණු පිටපත් දෙකනම් මගේ නිවසට ගිනි තැබු අවස්ථාවේදී විනාශ වුණා. මේ ආකාරයට තමයි, සිංහල නැටුම කලාව ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලැබුණේ. කලා මණ්ඩලය එදා දුන් සහයෝගය නිසා ඊට පසුවත් අප මේක ඉදිරියට ගෙනාවා. විශේෂයෙන්ම මා මෙතැනදී සඳහන් කරන්න ඕනෑ අද මනමේ නාට්‍ය 70 වැනි සංවත්සරය සමරනවා. එය ඉතා වැදගත් අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම තව දුරට මේ කලාව ඉදිරියට යයි කියා මා බලාපොරොත්තු වෙනවා.