රන්බීර් කපූර්, සායි පල්ලවි සහ යෂ් ඇතුළු නලු නිළි කැළක් රංගනයෙන් දායක වන නිතිෂ් තිවාරි​ගේ ‘රාමායණ’ චිත්‍රපටය ලබන 5 වැනිදා ලොව පුරා තිරගත වෙයි. චිත්‍රපටය ලොව පුරා තිරගත වීමටත් පෙර එය දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇතැයි පැවැසෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රවේශපත්‍ර කල්වේලා තියා අලෙවි වෙමින් පවතින බවත්, මේ වනවිට ප්‍රවේශපත්‍ර අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 15 ඉක්මවා ඇති බවය. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා වනවිට ඉන්දියාව තුළ චිත්‍රපටය සඳහා ප්‍රවේශපත්‍ර ලක්ෂ 2.98 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි විය.

චිත්‍රපටය භාෂා රැසකින් තිරගත වෙයි. වැඩිම ඉල්ලුමක් ඇත්තේ හින්දු පිටපතටය. හින්දි පිටපත ඉන්දීය රුපියල් කෝටි 13.09ක ආදායමක් වාර්තා කර ඇති අතර, කණ්නඩ පිටපත ඉන්දීය රුපියල් කෝටි 2.04ක අලෙවියක් වාර්තා කර ඇත. තෙළිඟු පිටපතේ පෙර ඇනවුම් ප්‍රවේශපත්‍ර අලෙවිය ඉන්දීය රුපියල් ලක්ෂ 46.38ක් ලෙසයි වාර්තා වෙයි.

ප්‍රාන්ත අනුව වැඩිම ප්‍රවේශපත්‍ර අලෙවිය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එහි අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 3.15 කි. කර්ණාටක ප්‍රාන්තයෙන් ඉන්දීය රුපියල් කෝටි 3.08ක් සහ දිල්ලි ප්‍රදේශයෙන් කෝටි 2.88ක අලෙවියක් වාර්තා වී තිබේ.

විදෙස් රටවල පෙර ඇනවුම් ප්‍රවේශපත්‍ර අලෙවියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.58ක ආදායමක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම දායකත්වය උතුරු ඇමෙරිකාවෙන් ලැබී ඇතැයි ද පැවැසෙයි.

උතුරු අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 1.91ක ප්‍රවේශපත්‍ර අලෙවියක් වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයෙන් ඩොලර් 268,800ක අලෙවියක් වාර්තා වී ඇත. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් ඩොලර් 248,300ක අලෙවියක් ද වාර්තා වෙයි.