(අංජුල මහික වීරරත්න)

බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින මෙරට විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Synergy Pharmaceuticals Corporation Private Limited කර්මාන්ත ශාලාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

කර්මාන්ත ශාලාවේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු සහ එහි පර්යේෂණාගාර පද්ධතියේ ප්‍රගතිය මෙන්ම නවීන යන්ත්‍රෝපකරණ සවි කිරීම් සහ එහි ඇති අතිනවීන පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරයේ (R&D Laboratory) වත්මන් ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට මෙහිදී ලක් විය.

මෙම කර්මාන්ත ශාලාව මඟින් Oral Solid Dosage (OSD) හෙවත් පෙති සහ කරල් වර්ග, එන්නත් (Injectables), පිළිකා නාශක ඖෂධ (Oncology) සහ හෝමෝන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය බටහිර ඖෂධ වර්ග රැසක් ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 25%ක් දක්වා සැපයීම සහ විදේශීය වෙළෙඳපොළට ඖෂධ අපනයනය කිරීම මූලික ඉලක්කයකි.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කඩිනමින් අවසන් කර වාණිජ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය සහයෝගය සහ පරිපාලනමය පහසුකම් අඛණ්ඩව සපයන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, කර්මාන්ත ශාලාවේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.