සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි.
වලිගය නිල් පැහැති වීමත් බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීමත් හේතුවෙන් මේ කුරුල්ලා හඳුන්වන්නේ නිල් පෙඳ බිඟුහරයා යනුවෙනි.
ඉංග්‍රීසි බසින් ‘‘බ්ලූ ටේල්ඩ් බී ඊටර්“ ලෙස හඳුන්වන මේ කුරුල්ලන් සත්ත්ව විද්‍යාත්මකව මෙරොප්ස් පිලිපීනස් (Merops philippinus) ලෙස හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතා ශක්තිමත් හා ප්‍රබල පර්යටන පක්ෂියකු හෙවත් නිහැරි කුරුල්ලකු ලෙස පිලි ගනී.
ඉතා වර්ණවත් කුඩා පක්ෂියෙකි. විශාලත්වය සේන්ටිමීටර 23-25ක් පමණය. සිරුරේ වැඩිපුර දක්නට ඇත්තේ කොළ පැහැයයි. ඇස අසළ කළු රේඛාවකි. ගෙල යට පෙදෙස කහ සහ දුඹුරු පැහැති මිශ්‍රව දක්නට ලැබෙයි.
වලිගය මැදින් දික්වූ නිල් පැහැති පිහාටු දෙකත් වර්ණවත් බවත් හේතුවෙන් මේ කුරුල්ලා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මීමැස්සන් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන අතර අනෙක් කෘමි වර්ග ද ආහාරයට ගනී. මොවුන් ආහාර ගැනීමේ විශේෂත්වයක් වන්නේ අල්ලාගන්නා මී මැස්සා තදින් අත්තක ගසා ඔවුන්ගේ විෂ කෝෂය ඉවත්කැර ගිල දැමීමේ සුවිශේෂී හැකියාවයි.
ශ්‍රී ලංකාවට පැමිණි පසු නගරබදව පවා බහුලව දක්නට ලැබෙන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ දී රංචු වශයෙන් ලැගුම් ගනී.
බිත්තර දැමීම සඳහා පොළොව හාරා කුඩා උමගක් සාදා ගන්නා මොවුන් වරකට බිත්තර පහක් හෝ හතක් දමයි. ඒවා සුදු පැහැතිය. වටකුරුය. කුමන ප්‍රදේශයේ දී මොවුන්ගේ කැදලි හමුවී ඇති බැවින් දිගටම මෙරට වාසය කරන නිල් පෙඳ බිඟුහරයන් සමූහයක් සිටිතැයි පරිසරවේදීන්ගේ මතයයි.
මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීම සනිටුහන් කරමින් දැනටමත් නිල් පෙඳ බිඟු හරයන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දැන් සංචාරක පක්ෂි සමය ඇරඹී ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන දසුන් පෙළක් (නි)
කොච්චර ලස්සනද? (නි)
ලස්සන ඡායාරූප. ස්තුතියි. (නි)
අනේ! අපේ රටේ කෘමිනාශක බෙහෙත් ගහන විදිහට ඔබ ලංකාවට ඒම ඔබගේ වර්ගයාට විශාල හානියක්. (නි)
කාලයකින් දුටු නෙත පිනවන දසුනක් (නි)
බොහොම ස්තූතියි. හරිම හොඳ ප්‍රවෘත්තියක් (නි)
ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා (නි)
තව තවත් මෙවැනි පරිසරයට අදාළ දේවල් පළකරන්න (නි)
මෙය සිංහරාජය අයිනේ පිහිටි අපේ කුඩා ගම්මානයේ සුලභව දකින්න පුළුවන්. මේ පින්තුර පෙළ හරිම වැදගත්. එයින් මගේ මතකය නැවතත් ගමට හා ඒ ආශ්‍රිත පරිසරයට ගියා. බොහොම පින්. බොහොම උසස්. බොහොම වටිනා දෙයක්. බොහොම ස්තුතියි (නදී)
කුරුල්ලා නම් ලස්සනයි. ඒත් ඒ සතා මීමැස්සෝ කන නිසා අකමැතියි. මී මැස්සෝ තමයි ලෝකයේ ජීවයට මුල. මී මැස්සෝ නැත්නම් ජිවයක් නැත මේ ලොවේ. (නි)
කුරුල්ලන්ට නම් දානකොට අපිට කටට හුරු අයුරින් නමක් දානවා නම් තවත් හොඳයි නේද? (නි)
මේ කුරුල්ලා සංක්‍රමිකයෙක් කියලා මම දන්නේ අදයි. අපි ළමා කාලයේ අවුරුද්ද පුරාම මේ සතා අපේ ගම්වල දැකලා තියෙනවා. මී මැස්සෝ කනවා නම් දැකලා නැහැ. නමුත් බත්කුරෝ ආදී පියාඹන කෘමි සත්තු කනවා දකලා තියෙනවා. අපි මේ කුරුල්ලට කියන්නේ "පාන්ජා" කියලා. (ස)
ජනාධිපතිතුමා නිසා තමයි මේ නිදහස මෙහෙම සුරැකිලා තියෙන්නේ. ඒකයි මේවා දකින්න පුළුවන්. ඔබතුමාට චිරන් ජයතු! (නි)
තව මාස දෙකකින් මේ කුරුල්ලා වඳවෙලා කියලා දැනගන්න ලැබෙයිද දන්නෙ නැහැ. අපේ අයියලා ඔය කුරුල්ලා හොයලා පිටරටවලට විකුණනන්නත් බැරි නැහැ (නි)
හැමදාමත් මෙහෙම ප්‍රවෘත්තියක් දැක්කොත් හිතට මොනතරම් සහනයක්ද? (නි)
මගේ කාමරේ ජනේලයේ ඉස්සරහ තියෙන ලයිට් වයර් එකේ හැමදාම ජෝඩුවක් ඉන්නවා මමත් ෆොටෝ ගත්තා. මෙයාගේ ෆොටෝ මගේ ලගත් තියෙනවා. (නදී)