ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් බහුලවම දැකිය හැකි කුරුල්ලකු වන්නේ අටු වැහිලිහිණියාය. සංචාරක පක්ෂි සමය උදාවූ බව හඟවමින් මුලින් ම මෙරටට පැමිණෙන්නේ ද මොවුන්ය. ඉංග්‍රීසි බසින් බාන් ස්වොලෝව් යනුවෙන් හඳුන්වන අටු වැහිලිහිණියා සත්ත්ව විද්‍යාත්මකව හිරුන්ඩො රුස්ටිකා (Hirundo rustica) ලෙස හඳුන්වයි.
ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් නේවන වැහිලිහිණි විශේෂයයි. මේ පක්ෂියාගේ සිරුරේ උඩුපැත්ත නිල් පැහැතිය. උදරය ඇතුළු යටි පැත්ත සුදු පැහැතිය. පපු පෙදෙසේ තද නිල් පැහැති දාරයක් දක්නට ලැබෙයි. හොටයට ඉහළින් සහ ගෙල යට තද දුඹුරු පැහැතිය. වකුටු වී දෙකට බෙදුණු දිගැති වලිගයකි. උල් පියාපත් දරයි. යුරෝපය නිජබිම කැරගත් මේ පක්ෂියා ආසියාව, අප්‍රිකාව හා ඇමෙරිකාව ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර සිටියි.
යුරෝපයේ මේ පක්ෂියා පොදුවේ ලිහිණියන් ලෙස හැඳින්වුව ද ඔවුන්ගේ උප විශේෂ හයක් දක්නට ඇත. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව පැමිණීමත් සමග ඉතා දුෂ්කර මඟ ගෙවා විශාල දුරක් පියඹා යන මේ පක්ෂීහු දකුණු අර්ධගෝලයේ රටවල් කරා පැමිණෙති.
ඉතා විශාල ව්‍යාප්තියක් දක්නට ලැබීම නිසා ම සුලබ පක්ෂියකු ලෙස හැඳින්වෙන අටු වැහිලිහිණියා අන්තරායකර සත්ත්වයකු නොවූව ද ඔවුන් ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ස්ථානවල දී තර්ජනයට ලක්වූවන් ලෙස හඳුනාගෙන ඇත.
විශාලත්වයෙන් සෙන්ටිමීටර 17ක් 19ක් පමණ වන මොවුන් පියාපත් දිග හැරිය විට පියාපත් කෙළවර අතර දිග සෙන්ටිමීටර 32ක් හෝ 34.5ක් වෙයි. බර ග්‍රෑම් 16ත් 22 ත් අතර වූ කුඩා පක්ෂියෙකි.
මේ පක්ෂීන්ගේ විශේෂත්වයක් වන්නේ ඔවුන් මිනිසා විසින් නිමැවූ ස්ථානයන්හි ලැගුම් ගැනීමට වැඩි ප්‍රියතාවක් දැක්වීමයි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ මිනිසාගේ ව්‍යාප්තියත් සමග මේ කුරුල්ලන්ගේ අභිජනනය ද ව්‍යාප්ත වීමයි. මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි ජීවත්වීමට ප්‍රිය කරන මේ කුරුල්ලෝ ගොඩනැගිලි ආශ්‍රිත අඳුරු ස්ථානයන්හි මඩ ගුලි උපයෝගීකරගෙන කැදලි තනිති.
අටු වැහිලිහිණියා ඕස්ට්‍රේලියාවේ හා එස්ටෝනියා රාජ්‍යයේ ජාතික පක්ෂියාය.
නිහැරි කුරුල්ලන්ගේ පැමිණීම සනිටුහන් කරමින් මෙරටට පැමිණෙන අටු වැහිලිහිණියා රාත්‍රී කාලයේ දී රත්නපුරය නගරයේ විදුලි කම්බි මත එකිනෙකාට ලංවී සිය දහස් ගණනින් ලැගුම් ගෙන සිටින ආකාරය සුලබ දසුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප, ඔබ මේ තොරතුරු නොකඩවා අප වෙත ලබාදීම ගැන ඔබට පින්. සොබාදහමේ අලංකාර නිර්මාණයන් වන මේ පක්ෂීනුත් ඔවුන්ගේ හැසිරීම ආදියත් ගැන ඔබ දෙන තොරතුරු ඉතාම රසවත්. ඒ වගේම වටිනවා. සජීව විජේවීර සොයුරාටත් බොහොම ස්තුතියි! (නි)
ඉතාම අලංකාරයි (නි)
මා ලංකාදීපයට ඉතා කැමති එක් කරුණක් තමයි නිතරම පලකරන මෙවන් රසවත් දැනුම වඩන ලිපි. ඉතාමත්ම රසවත්. (නදී)
රත්නපුර විතරක් නෙවෙයි මේ කුරුල්ලෝ මතුගමත් ඉන්නවා. හරිම ලස්සනයි.(දිල්)
සංචාරක පක්ෂීන් ගැන ඉතා වැදගත් ලිපි පෙළක් ලංකාදීපයට තුති.! (නදී)
මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි ජීවත්වීමට ප්‍රිය කරන මේ කුරුල්ලෝ මිනිසුන් සොයා එන්නේ අපේ ශ්‍රී ලංකාවට. අහන්නත් සතුටුයි. (නදී)
දුෂණ භීෂණ කියවලා අපේ සංවේදී හිත් කඩා වැටුණු මොහොතක ලංකාදීප පත්තරේ සොභා දහමේ කුරුළු ගීත රටාවක් අපේ හිතේ අඳිනවා . (නදී)
ස්වභාව ධර්මය වෙනුවෙන් පලකරන්නා වූ මෙවැනි අලංකාර ලිපි වෙනුවෙන් ලංකාදීපයට අපේ ප්‍රණාමය! (නදී)
අපි තව තව විස්තර බලා පොරොත්තු වෙනවා. මොවුන්ගේ සාමාන්‍ය ඉංග්‍රීසි නමත් දැමුවොත් හොඳයි. මෙය ඉතා කදිම අදහසක්. (නදී)
කණගාටුවට කරුණ නම්, සමහරු මේ අහිංසක කුරුල්ලන්ගේත් කූඩු කඩලා රුපියල් ශත වලට විකුණනවනේ (නි)
හොඳ ලිපියක් (නි)
මේවගේ වටිනා තොරතුරු ලංකාදීප පත්තරයේ විතරක් නොව " ලංකාදීප සගරාව" ලෙස එළිදකිනවා නම් වටිනවා....(දිල්)