(ගයාන් සූරියආරච්චි)

රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ සගවා තිබූ ටී 56 උණ්ඩ තොගයක් සහ මාංචු යුගලක් සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

පොලිසිය සොයාගත් උණ්ඩ අතර එම් 60 වර්ගයේ මැෂින් තුවක්කුවලට යොදන උණ්ඩ තිබී හමුවී ඇති අතර එම ගිනි අවි මෙරට භාවිත වන්නේ ත්‍රිවිධ හමුදාවල සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර පමණක් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කළ විමර්ශනවලදී එම උණ්ඩ සහ මාංචු යුගල සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්මල්ලී සහ රසල් ස්මිත් නැමැත්තන්ට අයත් ඒවා බවට පොලිසිය සැකපළ කරයි.

එහි තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ 90 ක්, මාංචු කුට්ටමක් සහ M60 උණ්ඩ 23 ක් පොලිසිය සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ චන්දන ධර්මරත්න මහතාට ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සූදානමින් සිටි අපරාධකරුවකු ඉකුත් ඔක්තෝබර් මස දිනෙක හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සන්තකයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් එකක් සහ T56 උණ්ඩ 16 ක් පොලිසිය සොයාගෙන තිබිණ.

පසුව සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර සැකකරුගෙන් ලද තොරතුරුක් මත එම උණ්ඩ තොගය සහ මාංචු කුට්ටම පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් උණ්ඩ සහ මාංචු කුට්ටම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.