(ගයාන් සූරියආරච්චි , තිලකරත්න දිසානායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගිනි අවි 5ක්, ජීව උණ්ඩ 3843 ක් සහ ජීව අත්බෝම්බ 2 ක් සිනමා ශාලාවක සගවා තබාගෙන සිටි හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ කෝටිපති ඥාතී සහෝදරයකු ඊයේ (18) අලුයම අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් කෝටිපති සහෝදරයා එම සිනමා ශාලාවේ හිමිකරු වන අතර ඔහු කිරිදිවැල, මිල්ලතේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

කිරිදිවැල, හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමා ශාලාවක ගිනි අවි තොගයක් සගවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කෝටිපති ව්‍යාපාරිකයාගේ චිත්‍රපට ශාලාව වැටලූ අවස්ථාවේදී විශාල තිරය පිටුපස ඇති රහස් කාමරයක තිබී මෙම ගිනි අවි, උණ්ඩ සහ අත්බෝම්බ පොලිසිය සොයාගෙන ඇත.

එහි තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 2 ක්, රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ රිපිටර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ දේශීයව නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 වර්ගයේ ජීව උණ් 398 ක්, බෝර 16 වර්ගයේ ජීව උණ්ඩ 35 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 278 ක්, මිලමීටර් 32 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 49 ක්, මිලිමීටර් 22 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 3083 ක්, ජීව අත්බෝම්බ 2 ක් සහිත සිලින්ඩර් 2 ක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු වෙඩි තැබීමේ ක්‍රීඩාවේ යෙදී සිටි ක්‍රීඩකයකු බවත් එම ක්‍රීඩා සංවිධානය කරන කරන බවත්ය.

කෙසේ වෙතත් එම ගිනි අවි කීපයකට සහ උණ්ඩවලට බලපත්‍ර නොමැති අතර සැකකරු කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ සම්බන්ධතා මත කිසියම් අපරාධයක් සිදුකිරීමට මෙම ආයුධ සන්තකයේ තබාගෙන සිටින්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.

සැකකරු එම ගිනි අවි සහ උණ්ඩ සංවිධානාත්මක අපරාධකරුවන්ට ප්‍රවාහනය කළේද යන්න පිළිබදව ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුව ගත් සැකකරු රදවා තබාගෙන දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සහ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීම පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 

 

-----------------------------------------

බිමල් ශ්‍යාමන් ජයසිංහ

සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජු සබඳතා පවත්වමින් ගිනි අවි සහ විවිධ වර්ගයේ  උණ්ඩ තොගයක් මෙන්ම අත්බෝම්බ සන්තකයේ තබාගත් සිනමාහලක හිමිකරුවකු ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයකු  අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරු සමඟ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් ,රිවොල්වර අවියක් , විදෙස් රටක නිෂ්පාදිත රිපිටර් අවි එකක් , විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 අවිඑකක් , බෝර 12  පතුරම් 398 ක්, බෝර 16 ජීව පතරම් 35 ක් , මිලිමීටර් 09වර්ගයේ ජීව පතරම් 278ක් , පොයින්ට් 32 අවියට යොදන ජීව පතරම් 49 ක් , පොයින්ට් 22 අවියට යොදන පතරම් 3083 ක් හා ජීව අත් බෝම්බ 02 ක් පොලිස් භාරයට ගෙන ඇත

කිරිඳිවැල පොලිස් වසමේ සිනමා ශාලාවක් තුළ අවි ආයුධ තොගයක් තිබෙන බවට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටි මහතාට ලද රහසිගත තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවිර මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක්  සිනමා ශාලාව වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එහි පිටුපස කාමරයක් තුළ ගබඩා කර තිබූ මෙම ගිනියම් සහ ජීව උන්ඩ තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසියකියයි

අනතුරුව සැකකරු පදිංචි කිරිඳිවල මිල්ල තේ ප්‍රදේශයේ සුවිසල් නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී අත්බෝම්බයක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ පූලික ප්‍රශ්න කිරීමේදී අවි ආයුධ කලක සිට විවිධ පුද්ගලයන්ගෙන් ලැබුණ ඒවා බවට ප්‍රකාශ කළ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

38 හැවිරිදි සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා ගෙන් රැඳයුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය