(අංජුල මහික වීරරත්න)

​සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ උපරිම ප්‍රතිලාභ අත්කරගත හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඒ වෙනුවෙන් පවතින ආර්ථික බාධක හා අභියෝග හමුවේ වුවද, අධ්‍යාපනය සඳහා සැලකිය යුතු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් එම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

පොළොන්නරුව විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. ​රජයේ රුපියල් මිලියන 55ක පමණ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල ප්‍රාථමික පන්ති කාමර අටකින් සමන්විත වේ. ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව, සිසුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය නව පන්ති කාමරවල තත්ත්වය ද නිරීක්ෂණය කළාය.

​එමෙන්ම, පාසලේ සිසුන්ගේ ඉගෙනුම් කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට බලපාන අධ්‍යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. ​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී විෂයමාලා වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, ගුරු පුහුණුව සහ සුදුසු පාසල් පරිසරය ද ගොඩනැඟිය යුතු බවත් ය. ඒ අනුව, පාසල් පද්ධතියේ සූදානම සලකා බලමින් පියවරෙන් පියවර නව විෂයමාලා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.