කැනඩාවේ වනාන්තර ප්‍රදේශයක් ආසන්නයේ පිහිටි කැනඩා හමුදා​වට අයත් පුහුණු කඳවුරකට ළැව් ගින්නක් පැතිර යෑමෙන්, එම කඳවුරේ සිටි හමුදා සෙබළු සිවු දනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

 

ගින්නට කොටු වී පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් අඝ්‍රාණය වී අසනීප වුණු සෙබළුන් ගණන 39 ක් බව පැවැසෙයි. එම 39 දෙනාගෙන් පිළිස්සුම් තුවාල ලැබූ 19 දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි.

 

ළැව් ගින්න හමුදා කඳවුර දෙසට පැතිරෙන බව ගිනි නිවන භටයන් මෙන්ම කාලගුණ විද්‍යාඥයන් ද කැනඩා හමුදාවට දැනුම් දී ඇති නමුත්, ළැව් ගින්නේ මග වෙනස් වේවි යැයි සිතා කඳවුරේ ප්‍රධානීන් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූ බව ද පැවැසෙයි.

 

ළැව් ගින්න තත්පර කීපයක් ඇතුළත කඳවුර වසා ගත් බවත්, එයින් බේරීමට හමුදා සෙබළුන්ට නොහැකි වුණු බවත් මේජර් ජෙනරාල් වේඩ් රට්ලන්ඩ් මාධ්‍ය හමුවේ පවසා ඇත.

 

කඳවුරේ පුහුණුව ලබමින් සිට ඇත්තේ, විදේශ හමුදා මෙහෙයුම් සඳහා යැවෙන 3 වැනි චාලි නමැති හමුදා බළකායේ හමුදා සොල්දාදුවන් පිරිසක් බව ද පැවැසෙයි. ළැව් ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බව ගිනි නිවන භටයෝ සැක පළ කරති. ළැව් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙනු ඇත.

 

ලින්නට හසුවී තුවාල ලැබූවන් හෙලිකොප්ටර් මගින් කඩිනමින් රෝහල් ගත කළ බව ද පැවැසෙයි. තුවාල ලැබූවන් ඇල්බර්ටා ඇල්බර්ටා හි ප්‍රධාන රෝහල් කිහිපයකට ඇතුළත් කළ බව ද වාර්තා විය. කැනඩාව තුළ, කැනඩා හමුදා සෙබළුන් මුහුණ දුන් ඛේදවාචකයක් ​ලෙස මෙය සැලකෙයි.