2027 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතය. කුමන මාදිලියේ අයවැයක් ඉදිරිපත් වේවි ද? මේ ඒ ගැන විමසමින් සර්වජන බලය පක්ෂයේ උපසභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සමග කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- 2027 අයවැය එන්න කිට්ටුයි. මොකක්ද වෙයි ද? කොහොම ද ඒ ගැන ඔබේ ගණන් බැලීම?
පිළිතුර:-
2025 සහ 2026 අයවැය ගැනත් අපි මේ විදියටම සාකච්ඡා කළා. දැන් තියෙන විදියට කොයි විදියේ අයවැයක් වේවි ද කියලා කියන්න අමාරුයි. නමුත් කුමන විදියේ අයවැයක් විය යුතු ද කියල නිශ්චිතවම කිව හැකියි. ලංකාවේ දැන් තියෙන ආර්ථික සමාජ සංදර්භයට අනුව ආ යුත්තේ මෙන්න මේ වගේ කියලා කියන්න පුළුවන්. අපි ඉන්න ආර්ථික අගාධයෙන් ගොඩඑන්න ප්‍රතිකර්ම යෝජනා කරන, යෝජනා 2027 අයවැයට ඇතුළත්වීම අවශ්‍යයි. එය ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යයි.
අපි 2025 අයවැයේදී දැකපු දේ තමයි ඒ අයවැයේ සඳහන් කරුණු බොහොමයක් ඉටු කරගන්න බැරිවුණා. ලංකාවේ හැම රජයකටම වෙච්ච දේ මේ රජයටත් වුණා. ඒක සාමාන්‍යයි. ඕනෑම රජයක් අලුතෙන් පත්වුණාම ඒක එහෙම තමයි. නමුත් 2026දීත් අපිට ඒක ඊටත් වඩා බරපතළ විදියට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ගත්තාම බිලියන 1380ක් විතර ප්‍රාග්ධන වියදම්වලට වෙන් කළත් මේ වෙනකොටත් වියදම් කරලා තියෙන්නේ බිලියන 350ක් වගේ ගාණකි.
ප්රශ්නය:- එහෙම වෙන්න හේතුව?
පිළිතුර:-
මම ඒකයි කිව්වේ පළමුවැනි අවුරුද්දේ ඒක පිළිගන්න පුළුවන්. දෙවැනි අවුරුද්දෙදිත් එහෙම වෙනවා කියන්නෙ මෙතැන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. 2027 දීත් ඒ වැරැද්ද සිදු නොවන්න වග බලා ගන්න ඕනෑ. කෙසේ වෙතත් දැන් විශාල ආර්ථික ගැටලු ටිකක් තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ ගැටලු තියෙනවා. බලශක්ති ක්ෂේත්රයේත්, විදේශ විනිමය ඉපයීම සම්බන්ධ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන අයවැයක් මෙවර ඉදිරිපත් විය යුතුයි.
ප්රශ්නය:- එම කියන විදියේ අයවැයක් මෙවර ඉදිරිපත් කරයි කියලා විශ්වාසයක් ගෙවුණ කාලයත් එක්ක බැලුවම ඔබට ඇතිකර ගන්න පුළුවන්ද?
පිළිතුර:-
ඒකට ඔව් ද නැද්ද කියලා උත්තරයක් දෙනවට වඩා රාජ්‍යකරණයේ අවුරුදු දෙකක පරිණතභාවය තුළ අනිවාර්යයෙන්ම මම කියූ වර්ගයේ අයවැයක් ඔවුන් ඉදිරිපත් කළ යුතුමයි. 2027, 2028 සහ 2029 වසරවලදී මේ රජය සාර්ථක ආර්ථික කළමනාකරණයක් කරන ආණ්ඩුවක් සහ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලා හොඳ තැනකට ගෙනියන්න ඕනෑ නම්.
ප්රශ්නය:- අද ආයෝජකයෝ නෑ. ව්‍යාපාර කඩාවැටිලා. ආර්ථිකය කිසිම පිබිදීමක් නෑ කියලා විපක්ෂය කියනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය?
පිළිතුර:-
ඇත්තටම ප්රශ්නය ඕක තමයි. 2027ට ඉදිරිපත් කරන අයවැයේදී මේගොල්ලෝ සැලකිල්ලට ගන්න ඕනෑ මූලිකම ප්රශ්නය තමයි රටේ දළ දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය කරන ක්ෂේත්‍ර දිරිගන්වන අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. ආයෝජන කිව්වම දේශීය ආයෝජනත් තියෙනවා. විදේශීය ආයෝජනත් තියෙනවා. මෙතැනදී විදේශීය ආයෝජන දිරිගැන්වීමට සුදුසු බදු ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති, වෙළෙඳ සහ නීති පද්ධතිය නිසි පරිදි සකස් කර ගැනීමට නොහැකිකම විදේශ ආයෝජන නොඑන්න හෝ අඩුවෙන්න බලපාලා තියෙනවා.
එහෙනම් ඔය කියපු ක්ෂේත්රවල ආයෝජන මණ්ඩලය කේන්ද්‍ර කරගනිමින් ඉක්මනින්ම කරන්න වෙනවා. එම ප්‍රතිසංස්කරණ යෝජනා 2027 අයවැයට ඇතුළත් කරන්න ඕනෑ. දේශීය ආයෝජන දිරිමත් කරන්න අවශ්‍යයි. දළ දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය කරන්න. දළ දේශීය නිෂ්පාදනයට වැඩි වශයෙන්ම දායක වෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රයි.
ප්රශ්නය:- දැන් අමතක කරලම තියෙන්නේ ඔවුන්?
පිළිතුර:-
ඔව්. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 53ක් නිෂ්පාදනය කරන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්. ලංකාවේ සේවා නියුක්තියෙ සියයට 50ට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්. ඒ අය දිරිගන්වන්න ඕනෑ කරන අයවැය ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති, නීති ප්‍රතිපත්ති, ආනයන – අපනයන නීති රීති හා වෙළෙඳපොළ හසුරුවන සාධක මේ ඔක්කොම සංශෝධනය කරන්න ඕනෑ. එහෙම නොවුණොත් දැනට සිද්ධවෙනවා වගේම මේ දේශීය කර්මාන්ත පද්ධතිය පුළුල් කිරීම වෙනුවට එක්කෝ මේ තියෙන මට්ටමින් පවත්වාගෙන යන්න බලනවා. එහෙම නැත්නම් නිෂ්පාදන කටයුතු අතහැරලා දානවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන එකක් තමයි දැනට තියෙන බදු ප්‍රතිපත්තිය. අනිත් එක තමයි සාමාන්‍ය ජනතාව අතේ මුදල් නෑ. ඉල්ලුමක් නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය කරලා වැඩක් නෑනේ. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ නිෂ්පාදනවලින් ඉවත් වෙනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළට ගියාම භාණ්ඩවල මිලට බදු ගැළපුවාම විදේශ වෙළෙඳපොළත් එක්ක තරග කරන්න බෑ. ඒ නිසා ලංකාවේ නිෂ්පාදනය කරලා අපනයනය කරන කෙනෙක් දෙන්නෙක් වියට්නාමය වගේ රටවලට යනවා. මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. ඒ වගේම මේ අයවැයෙන් ගේන්න ඕනෑ ශ්‍රම පාලනය. බුද්ධිගලනය අතර කරන යෝජනා. ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව කොරියාවට යනවා. ජපානයට යන්න ට්‍රයි කරනවා. ඊශ්‍රායලයට යනවා. මොකක්හරි රටකට යන්න තමයි ට්‍රයි කරන්නේ. මේ තත්වය වළක්වන නීතිරීති මේ අයවැයෙන් ගේන්න ඕනෑ.
ප්රශ්නය:- ඔවුන් ඩොලර් ලංකාවට එවනවනේ?
පිළිතුර:-
ප්රායෝජගිකව ගත්තොත් එය රට ගිහින් රස්සා කරලා, ඩොලර් කීයක්හරි එවන එක රටට ශුද්ධ අලාභයක්. රටට ඕනෑ කරන ශ්‍රම හමුදාව නැතිව මේ ඉන්න මිනිස්සු ටික රට පටවලා කවුද මෙහෙ ආර්ථිකය හසුරුවන්නේ. කොච්චර ඍජු විදේශ ආයෝජන ආවත් වැඩක් නෑ. මෙහි වැඩ කරන්න මිනිස්සු නෑ. ඒක ප්‍රබල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට මේ අයවැයෙන් ආමන්ත්‍රණය කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
ප්රශ්නය:- ජනාධිපති අනුර කුමාර කිව්වා ‘‘අලුතෙන් බදු ගෙනාවෙ නෑ. බදු සංශෝධනය කළා කියලා. මේක දේශපාලන වාක්‍යයක්ද? එහෙම නැත්නම් සැබෑවක්ද?
පිළිතුර:-
ඒක දේශපාලන වාක්‍යයක්. මේ මාලිමා ආණ්ඩුවෙන් තමයි සොෆ්ට්වෙයා ආනයනයට බදු පැනෙව්වේ. විදේශ සේවා පිටරට ගිහින් සැපයීම තුළ උපයන්න ප්‍රේෂණ ආදායම් බද්දට යටත් කළේ මේ ආණ්ඩුව තමයි. ඒ විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මේ ආණ්ඩුව බදු පැනෙව්වා. ඒවා අපේ විදේශ ඉපැයීම වැඩි කරන එක වළක්වන තීරණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගිවිසුම හරහා ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවා. සමහර ප්රතිපත්තිවල ආණ්ඩුව හිර කරලා තියෙන්නේ. ඉස්සර තිබුණ ආණ්ඩු වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව වෙන්නත් පුළුවන්. ඉදිරියට එන ආණ්ඩු වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ ගිවිසුම් එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ කියන විදියට වැඩ කරන්න වෙනවා. ඒ ගිවිසුම්වලින් එළියට එන ක්‍රමයක් මේ ආණ්ඩුවට තියෙන්න ඕනෑ.
අද මේ ආණ්ඩුව කරන කණ්ඩායම අපිත් නියෝජනය කළේ එතැන තමයි. එදා මොකක්ද කිව්වේ, ‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට යටත් වෙලා ආණ්ඩු කරන්න වෙයි කියලයි. දැන් මේ තියෙන ගිවිසුම ලබන මාර්තු මාසයේදී අවසන් වෙනවා. එතැනදී මේ ගිවිසුම අලුත් නොකර අලුත් ප්රවේශයකට යන්න.
ප්රශ්නය:- මේ අයවැයෙන් යම් ප්‍රමාණයකට බදු සහන දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපති අනුර කුමාර කිව්වා?
පිළිතුර:-
බදු සහන දෙන එක හොඳයි. හැබැයි කාටද බදු සහන දෙන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයන් සීයක් තෝරාගෙන ඔවුන්ට බදු සහන දුන්නා කියලා රටේ ආර්ථිකයට සෙතක් සැලසෙන්නේ නෑ. ඒ වගේම ඔබගේ සහ මගෙන් එකතු කරගන්න උපයන විට ගෙවීමේ බදු මුදල් එකතු කරගෙන වැවිලි සමාගම්වල ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ වියදම් ආවරණය කරගන්න දුන්න කියලා රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නෑ. මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඒ නිසා නිවැරැදි බදු සහන දෙන්න ඕනෑ.
ප්රශ්නය: - කාටද කොහොමද මේ බදු සහන දෙන්න ඕනෑ?
පිළිතුර:-
මම ඔබට උදාහරණයක් කියන්නම්. බොරතෙල් හෝ පිරිපහදු කරපු තෙල් ආනයනය කරලා ලංකාවට ගොඩබානකොට රුපියල් සීයේ සිට 143 දක්වා ‘‘රේට් එකට විවිධ බදු ගහනවා. ඒ තෙල් ටික පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට විකුණනකොට තාප බද්දක් ගහනවා. එකතු කළ අගයට තමයි බද්ද වදින්නේ. පෙට්‍රෝලියම් එක නැප්තා, දැවි තෙල් විදුලිබල මණ්ඩලයට විකුණනකොට තව බද්දක් ගහනවා. විදුලිබල මණ්ඩලය ඒවායින් විදුලිය නිෂ්පාදනය කරලා පාරිභෝගිකයාට විකුණනකොට තව බද්දක් ගහනවා.
ඒ විදුලිය අරගෙන කර්මාන්තකරුවා භාණ්ඩයක් නිෂ්පාදනය කළාම සියයට 15 තවත් ලාභයක් තියෙන්න එපැයි. නමුත් එහෙම එකක් නෑ. පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගන්නකොට කොච්චර බදු ප්‍රමාණයක් එක්ක ද ඒක ගන්නේ. අද ඔබ වෙළෙඳපොළට ගිහිල්ලා රුපියල් සීයක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නකොට රුපියල් 42යි 45යි අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බදු. බදු සහන දෙන්න ඕන එතනට. එහෙම බදු සහන දුන්නාම කර්මාන්තකරුවන්ට පුළුවන් අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරලා රට ඇතුළේ කෙසේ වෙතත් පිටරට යවලා ඩොලර් හොයන්න. ඒ නිසා කර්මාන්ත ප්‍රසාරණය කෙරෙන බදු සහනයකට යා යුතුයි.
ජනාධිපතිතුමා කිව්වේ ආර්ථික සංවර්ධනයකට අදාළ වන ක්ෂේත්රවලට මේ බදු සහන දෙන්නේ කියන එකයි බලන්න ඕනෑ. ඒකට ඉතින් අයවැය ඉදිරිපත් කරනකම් බලාගෙන ඉන්න ඕනෑ.
ප්රශ්නය:- රටේ ආර්ථිකය ගැන විපක්ෂයේ පක්ෂ අතර හෝ සංවාදයක් තිබිය යුතුයි නේද?
පිළිතුර:-
විපක්ෂයට ආර්ථික වැඩපිළිවෙළක් ඇති. ඒ අය විවිධ දේවල් කතා කර කරනේ ඉන්නේ. විපක්ෂය එකතුවෙලා හදන ආර්ථික වැඩපිළිවෙළක වැදගත්කම තිබෙන්නේ ඕනෑම කාලයක ආණ්ඩු කරපු අය පිළිගන්නවානම්. අපේ එහෙම නෑනේ. විපක්ෂය කියන කිසිම දෙයක් ආණ්ඩුව පිළිගන්නේ නෑ. විපක්ෂයත් එහෙමයි. ආණ්ඩුව කරන හොඳ දේවල්, නරක දේවල් ඔක්කෝම විවේචනය කරනවා. අපි සර්ව ජනබලය පක්ෂය හැටියට එතැන නෑ. ආණ්ඩුව කරන හොඳ දේවල් අපි අගය කරනවා. වැරැදි දේවල් විවේචනය කරනවා. වැරැදි නිවැරැදි කරන යෝජනාත් අපි ඉදිරිපත් කරනවා. ඒක පිළිගැනීම, නොපිළිගැනීම ආණ්ඩුවේ වැඩක්.
-ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd