ඉසාක් බෂෙවිස් සිංගර් නම් නොබෙල් සම්මාන ලාභී ලේඛකයා බොහෝ විට සාහිත්‍ය රසිකයන්ට හුරුපුරුදු චරිතයක් ලෙස හැඟුණද, ඔහු නිරන්තරයෙන්ම සිය පාඨකයා පුදුමයට පත් කිරීම නවත්වන්නේ ද නැත. ඔහු සාහිත්‍ය ලෝකය පුදුම කරන්නේ සිය ලියවිලිවලින් පමණක් නොවේ. ඇතැම් විටෙක සිය ජීවන පුවත්වලින්ම ය.

1991 ජූලි 24වැනිදා සදහට මෙලොවින් සමුගැනීමෙන් දැන් වසර 35ක් ගෙවී තිබුණත් ඔහුගේ ඇතැම් කුතුහලය දනවන සුලු ජීවන පුවත් අදටත් විසඳී අවසන් නැත.

 

උපන්දින තුනක්

සිංගර්ට අවම වශයෙන් උපන් වර්ෂ සහ උපන්දින තුනක් තිබේ. ඉන් පළමුවැන්න 1904 ජූලි 14 යි. සිංගර් ද සිය ජීවිත කාලය තුළ තමන්ගේ උපන් දිනය ලෙස සමරන ලද්දේ මේ දිනය යි.

එහෙත් බොහෝ මූලාශ්‍රවලට අනුව, ඔහුගේ උපත සිදුව ඇත්තේ බොහෝ දුරට 1903 නොවැම්බර් 11 වැනිදා ආසන්නයේ ය. (මෙය ඔහු සිය නිල චරිතාපදාන රචක පෝල් ක්‍රෙෂ් (Paul Kresh) වෙත ලබා දුන් දිනය ද වේ.)

තවත් පිරිසක්, ජර්මානු විද්වතෙකු වන ස්ටෙෆන් ට්‍රී (Stephen Tree) විසින් මෑතකදී යෝජනා කරන ලද 1902 නොවැම්බර් 21 වැනිදා සිංගර්ගේ උපන් දිනය ලෙස සලකති.

එහෙත් ඓතිහාසික පර්යේෂණවලින් පෙනී යන්නේ මේ කාරණය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ බවය.

20 වැනි සියවස ආරම්භයේ දී පෝලන්තයේ වොර්සෝ (Warsaw) නගරය ආසන්නයේ ගමක උපන් සිංගර් 1935, එනම් හිට්ලර්ගේ නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කරන්නට වසර 4කට පෙර අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය.

1935 මැයි 1 වන දින එක්සත් ජනපදයට ඇතුළු වන විට ඔහුගේ වයස අවුරුදු 30ක් ලෙස වාර්තා වී තිබිණි;

1937 ජූනි 2වැනි දින කැනඩාවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වන විට ඔහු තම වයස අවුරුදු 32ක් ලෙස සඳහන් කළේය;

1940 අප්‍රේල් 13 වන දින පැවති එක්සත් ජනපද සංගණනයේදී, ඔහු තම අවසන් උපන් දිනයේ වයස අවුරුදු 35ක් ලෙස දක්වා තිබිණි.

සිංගර් විසින්ම තම උපන් දිනය සටහන් කරද්දී, සෑම විටම වර්ෂය ලෙස 1904 සඳහන් කළද, ඒ සෑම අවස්ථාවකදීම සඳහන් කළ නිශ්චිත දිනය එක හා සමාන නොවීය. 1950 වසරේදී 'Knopf' ප්‍රකාශන ආයතනය වෙනුවෙන් ඔහු පිරවූ කතුවරුන් පිළිබඳ ප්‍රශ්නාවලියක, ඔහු තම උපන් දිනය ලෙස 1904 ජූලි 27 වන දිනය සඳහන් කර ඇත.

1950–1993 කාලය ආවරණය වන එක්සත් ජනපද පොදු වාර්තා දර්ශකයේ (U.S. Public Records Index), ඔහු වඩාත් ප්‍රචලිත උපන් දිනය වන 1904 ජූලි 14 දිනය සහිතව සටහන් වී සිටී.

කෙසේ වෙතත්, වෙනත් මූලාශ්‍ර මේ තත්ත්වය තවත් සංකීර්ණ කරයි.

ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඊශ්‍රායෙල් ජොෂුවා (Israel Joshua) විසින් රචිත 'Of a World that is No More' (1946) නම් ස්වයං චරිතාපදාන කෘතියේ, 1904–1905 වර්ෂවලට අනුරූප වන යුදෙව් වර්ෂය වන 5665 දී සිංගර් තවමත් තොටිල්ලක සිටි බව සඳහන් වේ.

මේ පරස්පරතාව ගැන සිංගර්ම දැනුවත්ව සිටි අතර, ඔහු සිය චරිතාපදාන රචක පෝල් ක්‍රෙෂ්ට පවසා ඇත්තේ තමාට උපන් දින දෙකක් ඇති බවයි. ඉන් එකක් ජූලි මාසයේ වන අතර ඔහු නිල වශයෙන් භාවිතා කරන්නේ එයයි; අනෙක නොවැම්බර් මාසයේ වන අතර, එය හෙබ්‍රෙව් දින දර්ශනයේ 'හෙෂ්වාන්' (Heshvan) මාසයට අනුරූප වන බව ඔහු පවසා ඇත.

'The New York Times' පුවත්පතට අනුව, ඔහු විලියම් බර්කොවිට්ස් නම් රබ්බිවරයාට (Rabbi William Berkowitz) පවසා ඇත්තේ තම "සැබෑ උපන් දිනය හෙෂ්වාන් මාසයේ, තුන්වන සතියේ එන බදාදා දිනයක" බවයි ("New York Day by Day," 1984 සැප්තැම්බර් 3).

ස්ටීවන් ට්‍රී යෝජනා කරන්නේ ඔහු 1902 දී උපත ලැබූ බවයි; මන්ද එම වසරේ හෙෂ්වාන් මාසයේ 21 වන දිනය ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව නොවැම්බර් 21 වන දිනට යෙදෙන බැවිනි. එහෙත්, එකල පෝලන්තය රුසියානු අධිරාජ්‍යයේ කොටසක්ව පැවති අතර, එහි භාවිතා වූයේ ජූලියන් දින දර්ශනයයි; ඒ අනුව එම දිනය නොවැම්බර් 8 වන දිනට යෙදේ. තවද, සිංගර් සඳහන් කරන පරිදි එය බදාදා දිනයක් නොව, සබත් (Sabbath) දිනයට පෙර දිනය වන සිකුරාදා දිනයකි.

මීට අමතරව සලකා බැලිය හැකි එකම විකල්පය වන්නේ 1903 වසරයි. (මෙය යුදෙව් වර්ෂ 5664 ට අනුරූප වේ). එම වසරේ හෙෂ්වාන් මාසයේ තුන්වන බදාදා දිනය නොවැම්බර් 11 වන දිනට යෙදේ. මෙය, 1904 ජූලි මාසයේදී සිංගර් බිළිඳකු ලෙස සිටි බවත්, 1904–1905 වර්ෂවලදී ඔහු තොටිල්ලක සිටි බවත් ඔහුගේ සොහොයුරා දක්වා ඇති විස්තරය සමඟ මනාව ගැලපේ.

එබැවින්, ඔහුගේ උපන්දිනය බවට වඩාත්ම පිළිගත හැකි දිනය 1903 නොවැම්බර් 11 වන දිනය (සතියක පමණ කාල පරතරයක් සහිතව වුවද) බවට බහුතර එකඟත්වයක් මේ වනවිට පවතී.

කෙසේ වෙතත්, අදටත් හරියට ම කිව නොහැකි මේ මහා ලේඛකයාගේ උපන්දින තුනෙන් එකක් අදට, එනම් නොවැම්බර් මස 21ට යෙදේ.

උපන් වසර ද හරියට ම නිශ්චිත නැති බැවින්, මෙය ඔහුගේ 122වැනිද, 123වැනිද නැතිනම් 124වැනි උපන්දිනයදැයි හරියට ම කියන්නටත් නොහැකි ය.

එහෙත් සාහිත්‍ය ලෝකයට, සාහිත්‍ය රසිකයාට වඩා වැදගත් වන්නේ ඔහු කවදා ඉපදුනාද යන්නට වඩා, කවදා හෝ ඔහු ඉපදුනා ය යන්නය යි කීමේ ලොකු වරදක් නැත. ඉසාක් බෂේවිස් සිංගර් නමින් ලේඛකයකු නොසිටියා නම්, ඉතාමත් අන්ධකාර සමයක යුරෝපයේ යුදෙව් දිවිය කුමනාකාර වීදැ'යි මේ තරම් විශිෂ්ට ලෙස සාහිත්‍යයට එකතු වූ දැවැන්ත පරිච්ඡේදයක් ලියැවෙන්නේ නැත.