නවකතාවක් , කෙටිකතාවක් හෝ කවි පොතක් කියවා අවසන් කිරීමෙන් පමණක් පාඨකයෙකුගේ සාහිත්‍ය දැනුම පුළුල් වන්නේ නැත. පොතක් කියවීම යනු පිටු පෙරළීමකට එහා ගිය ගැඹුරු ක්‍රියාවලියකි. එය භාෂාව, ඉතිහාසය, සංස්කෘතිය, දර්ශනය, මනෝවිද්‍යාව, සමාජය සහ මිනිස් අත්දැකීම් අතර සිදුවන සංවාදයකි.
එබැවින් සැබෑ සාහිත්‍ය පාඨකයකු යනු පොත් විශාල සංඛ්‍යාවක් කියවා ඇති පුද්ගලයකු පමණක් නොවේ. ඔහු හෝ ඇය කියවන දේ ප්‍රශ්න කරන, සංසන්දනය කරන, පසුබිම සොයන, විවිධ අර්ථකථන සලකා බලන සහ අවසානයේ තමන්ගේම සාහිත්‍ය රසයක් ගොඩනඟා ගන්නා පුද්ගලයෙකි.
මගෙන් බොහෝ අය අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නම් මේ පෝස්ට් එකෙන්. ඔවුන්ගේ ප්‍රශ්නය වුණේ ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ දැනුම පුළුල් කරගන්නේ කෙසේද ? යන්නයි.
1) එකම වර්ගයේ පොත් කියවීමෙන් ඉවත් වෙන්න.
සාහිත්‍ය දැනුම සීමා වීමට ප්‍රධාන හේතුවක් වන්නේ එකම ආකාරයේ පොත් පමණක් කියවීමයි.
උදාහරණයක් ලෙස නවකතා පමණක් කියවන පාඨකයකුට කවි, නාට්‍ය, කෙටිකතා, චරිතාපදාන, සාහිත්‍ය විචාර, දාර්ශනික කෘති ආදිය මගහැරෙන්නට පුළුවන්.
එමෙන්ම නවකතා තුළ පවා එකම ශානරයට සීමා නොවිය යුතුය. ඓතිහාසික නවකතා, මනෝවිද්‍යාත්මක නවකතා, දේශපාලන නවකතා, සමාජ නවකතා, විද්‍යා ප්‍රබන්ධ, අත්හදා බැලීමේ නවකතා ආදී විවිධ ප්‍රවණතා හඳුනාගත යුතුය.
කියවීමේ පරාසය පුළුල් වන තරමට සාහිත්‍යය පිළිබඳ අවබෝධයද පුළුල් වේ.
2) දේශීය සාහිත්‍යයෙන් ලෝක සාහිත්‍යයට ගමන් කරන්න.
දේශීය සාහිත්‍යය ප්‍රමාණවත් තරම් හඳුනාගැනීමෙන් පසු ලෝක සාහිත්‍යයට පිවිසෙන්න.
සිංහල නවකතාවක් කියවා එය විශිෂ්ටයැයි තීරණය කිරීම එකකි. එම කෘතිය ලෝකයේ වෙනත් භාෂාවල නිර්මාණ සමඟ සසඳා බැලීම තවත් එකකි.
විවිධ රටවල කතුවරුන්, විවිධ සංස්කෘතික පසුබිම්, විවිධ ආඛ්‍යාන ක්‍රම, විවිධ චරිත නිර්මාණ සහ විවිධ දෘෂ්ටිකෝණ හඳුනාගැනීමෙන් තමන්ගේ සාහිත්‍ය මිනුම් දඩු පුළුල් වේ.
3) සම්භාව්‍ය කෘතිත් කියවන්න.
සම්භාව්‍ය කෘති කියවීම යනු පැරණි පොත් කියවීමක් නොවේ.
සම්භාව්‍ය කෘති හඳුනාගැනීම යනු කාලය ඉක්මවා ගොස් තවමත් මිනිසා, සමාජය, බලය, ආදරය, මරණය, යුද්ධය, නිදහස, සදාචාරය වැනි මූලික මනුෂ්‍ය අත්දැකීම් පිළිබඳ ප්‍රශ්න මතු කරන කෘති හඳුනාගැනීමයි.
එවැනි කෘති කියවීමෙන් වර්තමාන සාහිත්‍යයේ ඇතැම් අදහස් සහ ආඛ්‍යාන උපක්‍රමවල මූලාරම්භයද හඳුනාගත හැකිය.
එහෙත් “මම සම්භාව්‍ය පොත් කියවනවා” යන්න පාඨක උසස්භාවය ප්‍රකාශ කරන ලේබලයක් බවට පත්කර නොගන්න. සම්භාව්‍ය කෘතියේ වටිනාකම තිබෙන්නේ එය කියවීමේ නාමයේ නොව, එය අපට සිතන්නට බල කරන ආකාරයේය.
4) සාහිත්‍ය විචාර පොත් , ලිපි කියවන්න
කෘතියක් කියවීමෙන් පසු ඒ පිළිබඳ විචාර කියවීම පාඨකයාගේ අවබෝධය විශාල වශයෙන් පුළුල් කරයි.
විවිධ පොත් ගැන හා ග්‍රන්ථ සාහිත්‍ය ගැන පොදුවේ ලියවුණු විචාර පොත් ඕනතරම් තිබෙනවා. ඊට අමතරව ලිපි තිබෙනවා. ඒවා කියවන්න.
එකම කෘතිය තුළ අපට නොපෙනුණු සංකේතයක්, ආඛ්‍යාන උපක්‍රමයක්, චරිතයක මනෝවිද්‍යාත්මක මානයක් හෝ සමාජ හෝ දේශපාලන අර්ථයක් විචාරකයකුට පෙන්වා දෙන්න පුළුවන්.
නමුත් විචාරයක් කියවූ පමණින් එහි අදහස පිළිගැනීම අවශ්‍ය නොවේ. හොඳ පාඨකයා විචාරය කියවා, “මෙය ඇත්තටම කෘතියෙන් තහවුරු කළ හැකිද ? යන ප්‍රශ්නයද අසයි.
විචාරය අවසාන හෝ පරම සත්‍ය ලෙස නොව, තවත් එක් කියවීමක් ලෙස සලකන්න.
5) එකම කෘතිය පිළිබඳ විවිධ කියවීම් කරන්න.
හොඳ සාහිත්‍ය කෘතියකට එකම අර්ථයක් පමණක් තිබිය යුතු නැත.
එකම නවකතාවක් සමාජ විද්‍යාත්මකව , ස්ත්‍රීවාදීව , දේශපාලනිකව , මනෝවිද්‍යාත්මකව හෝ දාර්ශනිකව කියවිය හැකිය.
එකම කවියක් පාඨකයන් දෙදෙනකුට සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් ලබාදිය හැකිය.
එබැවින් කෘතියක් පිළිබඳ විවිධ විචාර, විවිධ පාඨක අදහස් සහ විවිධ අර්ථකථන සලකා බැලීමෙන් “එකම නිවැරදි කියවීම” යන සීමාවෙන් පාඨකයා මිදෙයි.
6) කෘතියේ පසුබිම අධ්‍යයනය කරන්න.
පොතක් එහි පිටු තුළ පමණක් ජීවත් නොවේ. එය නිර්මාණය වූ කාලය, සමාජය, දේශපාලනය, සංස්කෘතිය, ආගම, ආර්ථික තත්වය සහ කතුවරයාගේ යුගය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමෙන් කෘතිය වඩාත් ගැඹුරින් කියවිය හැකිය.
උදාහරණයක් ලෙස යුද සමයක ලියන ලද නවකතාවක් සාමකාමී යුගයක ලියන ලද නවකතාවක් මෙන් කියවීමෙන් එහි ඇතැම් අර්ථයන් මඟහැරෙන්නට පුළුවන්.
ඒ නිසා, “මෙය ලියවුණේ කවදාද ? කුමන සමාජයකද ? කුමන පසුබිමක් තුළද ? යන්න සොයා බලන්න.
7) සාහිත්‍ය ඉතිහාසය හදාරන්න.
සාහිත්‍යය වර්තමානයේ ආරම්භ වූ දෙයක් නොවේ. විවිධ කාලවලදී සාහිත්‍යයේ ඇති වූ වෙනස්කම්, නව ප්‍රවණතා, ආඛ්‍යාන විධි, භාෂා වෙනස්කම් සහ සමාජ බලපෑම් හඳුනාගැනීමට සාහිත්‍ය ඉතිහාසය හැදැරීමෙන් පුළුවන.
සිංහල සාහිත්‍යයේ පරිණාමය මෙන්ම ලෝක සාහිත්‍යයේ පුනරුදය , රෝමාන්තිකවාදය , නූතනවාදය , පශ්චාත් නූතනවාදය වැනි ප්‍රවණතා පිළිබඳ මූලික අවබෝධයක් තිබීමෙන් නවීන කෘති කියවීමේදී ඒවායේ පසුබිම වඩාත් පැහැදිලි වේ.
එමෙන්ම යථාර්ථවාදය, අධි යථාර්ථවාදය, ස්ත්‍රීවාදී සාහිත්‍යය, පශ්චාත් යටත්විජිත සාහිත්‍යය වැනි ප්‍රවණතා ගැන අවම මට්ටමේ හෝ අවබෝධයක් තිබීම කෘතියක් කියවීමේදී විශාල වෙනසක් ඇති කරයි.
8) කෘති සංසන්දනය කරන්න
කෘති සංසන්දනය කිරීම සාහිත්‍ය දැනුම වර්ධනය කරන ඉතා ප්‍රබල ක්‍රමයකි.
එකම තේමාවක් ගත් කෘති දෙකක් සසඳන්න.
ආදරය පිළිබඳ නවකතා දෙකක්. යුද්ධය පිළිබඳ නවකතා දෙකක්. මව්වත් භාවය පිළිබඳ කෙටිකතා දෙකක්. එකම සිදුවීම පිළිබඳ කවි දෙකක්.
ඉන්පසු බලන්න ,
කතුවරුන් තේමාව ඉදිරිපත් කරන්නේ කෙසේද ?
චරිත නිර්මාණයේ වෙනස කුමක්ද ?
භාෂාව වෙනස් වන්නේ කොහොමද ?
ආඛ්‍යානය වෙනස් වන්නේ කෙසේද ?
කෘතියේ අවසානය වෙනස් වන්නේ ඇයි ?
එවැනි සංසන්දනයක් මඟින් “කතාව” පමණක් නොව “කතාව කියන ආකාරය” පිළිබඳ අවබෝධයක් ලැබෙනවා.
9) කියවන පොත් පිළිබඳ සටහන් තබා ගන්න.
කියවා අවසන් කළ පොත අමතක වීම වැළැක්වීමට සටහන් තබා ගැනීම ඉතා ප්‍රයෝජනවත්.
පොතේ නම, කතුවරයා, ප්‍රධාන තේමාව, කැමති වූ කොටස්, නොකැමති වූ කොටස්, මතු වූ ප්‍රශ්න, වැදගත් චරිත සහ තමන්ගේ අවසාන අදහස සටහන් කර තබන්න.
එම සටහන් මාස කිහිපයකට පසු නැවත කියවන විට තමන්ගේම කියවීම වෙනස් වී ඇති බව පෙනෙන්න පුළුවන්.
10) කතුවරයාට වඩා කෘතිය කියවන්න
කතුවරයා කවුරුන්ද යන්න වැදගත්ය. නමුත් කෘතියේ ගුණාත්මකභාවය තීරණය කළ යුත්තේ කතුවරයාගේ ජනප්‍රියත්වය අනුව නොවේ.
ප්‍රසිද්ධ කතුවරයෙකුගේ සෑම කෘතියක්ම විශිෂ්ට විය යුතු නැත. එමෙන්ම නවක කතුවරයකුගේ කෘතියක් දුර්වල විය යුතුද නැත.
නම වෙනුවට කෘතිය කියවන්න.
කතුවරයාගේ සම්මාන, ජනප්‍රියත්වය, සමාජ මාධ්‍ය අනුගාමිකයන් හෝ සාහිත්‍ය කීර්තිය තාවකාලිකව පසෙක තබා කෘතිය තමන්ගේම සාහිත්‍ය මිනුම් දණ්ඩකින් විමසීම පරිණත පාඨකත්වයේ ලක්ෂණයකි.
11) සමාජ මාධ්‍යයේදී සාහිත්‍ය විෂයෙහි විචාරශීලී වන්න
Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකාවල පොත් සමූහවලින් පාඨකයන්ට විශාල ප්‍රයෝජනයක් ලබාදෙනවා.
නව පොත් හඳුනාගැනීම, පාඨක අදහස් ලබාගැනීම, සාහිත්‍ය සංවාදවලට සම්බන්ධ වීම, පොත් නිර්දේශ ලබාගැනීම සහ තමන්ගේ අදහස් බෙදාගැනීම ඒ අතර වේ.
එහෙත් සමූහයක ජනප්‍රිය වූ පොතක් අනිවාර්යයෙන්ම විශිෂ්ට කෘතියක් නොවේ.
Likes, comments, shares, viral posts සහ විශාල සාමාජික සංඛ්‍යාව සාහිත්‍යමය ගුණාත්මකභාවයේ මිනුම් දඩු නොවේ.
එබැවින් සමාජ මාධ්‍යය පොත් සොයාගැනීමේ මෙවලමක් ලෙස භාවිත කළ යුතු අතර, සාහිත්‍ය පිළිබදව අවසාන තීන්දුව ලබාදෙන අධිකරණය ලෙස එට නොසැලකිය යුතුය.
12) කියවීමේ වේගයට වඩා කියවීමේ ගැඹුර වැදගත්ය.
වසරකට පොත් 100ක් කියවීම, පොත් 20ක් කියවන පුද්ගලයකුට වඩා තමන් උසස් බව ඔප්පු කරන සාධකයක් නොවේ.
පොතක පිටු ගණන, කියවන වේගය හෝ වසරකට කියවන පොත් සංඛ්‍යාව සාහිත්‍ය දැනුමේ සම්පූර්ණ මිනුමක් නොවේ.
සමහර විට පිටු 150ක කෘතියක් පිළිබඳ ගැඹුරු කියවීමක්, පොත් 10ක් වේගයෙන් කියවා අවසන් කිරීමට වඩා වටිනා විය හැකිය.
13) සාහිත්‍ය සංවාදවලට සහභාගි වන්න
තනිව කියවීම වැදගත්ය. එහෙත් සාහිත්‍යය පිළිබඳ සංවාද කිරීමද ඒ තරමටම වැදගත්ය.
තමන්ගේ අදහස ඉදිරිපත් කරන විට වෙනත් පාඨකයකුගේ අදහස අසන්නට ලැබේ. එවිට තමන් නොදුටු පැත්තක් දැකගත හැකිය.
එමෙන්ම තමන්ගේ අදහස තර්කානුකූලව ඉදිරිපත් කිරීමටද පුරුදු වේ. හොඳ සාහිත්‍ය සංවාදයක අරමුණ අනෙක් පුද්ගලයා පරාජය කිරීම නොව කෘතිය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමයි.
14) භාෂා දැනුම පුළුල් කරගන්න.
සාහිත්‍යය තේරුම් ගැනීමේ ප්‍රධාන මෙවලම භාෂාවයි.
එබැවින් පාඨකයකුගේ භාෂා දැනුම පුළුල් වීම ඔහුගේ සාහිත්‍ය දැනුමට සෘජුව බලපායි.
සිංහල භාෂාවේ පද සම්භාරය, පැරණි හා නූතන භාෂා භාවිතය, උපමා, රූපක, සංකේත, ව්‍යංගාර්ථ සහ භාෂා ශෛලීන් හඳුනාගැනීමට පුරුදු විය යුතුය.
හැකි නම් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් සාහිත්‍ය කියවීම ආරම්භ කිරීම විශාල වාසියකි. පරිවර්තනයක් හරහා ලැබෙන කෘතියට වඩා මුල් භාෂාවේ කෘතිය කියවීමෙන් භාෂාමය සහ ශෛලීය අර්ථ විශාල ප්‍රමාණයක් හඳුනාගත හැකිය.
15. අවසානයේ තමන්ගේම සාහිත්‍ය රසයක් ගොඩනඟා ගන්න.
මේ සියල්ලේ අවසාන අරමුණ වෙනත් කෙනකුගේ රසය අනුගමනය කරන පාඨකයකු වීම නොවේ. තමන්ටම අනන්‍ය වූ සාහිත්‍ය රසයක් ගොඩනඟා ගැනීමයි.
කවුරුන් හොඳයැයි කීවත් තමන්ට කෘතියක් නොගැළපෙන්නට පුළුවන. කවුරුන් නොසලකා හැරියත් තමන්ට එහි විශාල සාහිත්‍යමය වටිනාකමක් දැකිය හැකිය.
එය අහංකාර ප්‍රතික්ෂේප කිරීමක් නොවිය යුතුය. තමන්ගේ රසය සඳහා තර්ක, අත්දැකීම් සහ කියවීම් මත පදනමක් තිබිය යුතුය.
“මම මේ පොතට කැමතියි” යන්නෙන් එහාට ගොස් “මම මේ පොතට කැමති ඇයි ? යන්න පැහැදිලි කළ හැකි මට්ටමට පැමිණීම පරිණත පාඨකත්වයේ ප්‍රශස්ත ලක්ෂණයකි.
අවසානයේ ..
සාහිත්‍ය දැනුම යනු පොත් දහස් ගණනක් එකතු කරගැනීමක් නොවේ. එය කියවීම් සමූහයක් එකතු කරගැනීමකි.
එය එක් කතුවරයකුට පමණක් ඇලී සිටීම නොව විවිධ කතුවරුන් අතර ගමන් කිරීමකි. එක් රටක සාහිත්‍යයකට සීමා වීම නොව ලෝක සාහිත්‍යය සමඟ සංවාද කිරීමකි. ජනප්‍රියත්වය පිළිගැනීම පමණක් නොව ජනප්‍රියත්වය ප්‍රශ්න කිරීමකි. විචාරයක් පිළිගැනීම පමණක් නොව එයද විචාරයට ලක් කිරීමකි.
හොඳ පාඨකයා අවසානයේ පොතෙන් පිටතට පැමිණෙන්නේ පොත ගැන පමණක් දැනගෙන නොවේ. තමන් ගැනත්, මිනිසා ගැනත්, සමාජය ගැනත්, ලෝකය ගැනත් අලුත් ප්‍රශ්න කිහිපයක් රැගෙනය.
ඒ නිසා සාහිත්‍ය දැනුම පුළුල් කරගැනීමේ සැබෑ ගමන ආරම්භ වන්නේ ,
“මම කොපමණ පොත් කියවා තිබෙනවාද ? යන ප්‍රශ්නයෙන් නොව,
“මම කියවූ පොත් නිසා මගේ සිතීම කොපමණ වෙනස් වී තිබෙනවාද ? යන ප්‍රශ්නයෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd