(අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
2022 ජනවාරි මස ඇරඹුණු මෙහි ඉදිකිරීම් 2026 නොවැම්බර් 15 දක්වා දිග්ගැසී ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍යවරයා ඉහත උපදේශය ලබා දී තිබේ.
මෙම පර්යන්තයේ ඉදිකිරීම් හා උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 750 ක මුදලින් 20% කට ආසන්න බදු කපා හැරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අදාළ පර්යන්තය සඳහා STS දොඹකර ( Ship To Shoe Crain ) 12 ක් සහ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 40 ක් ඇණවුම් කර ඇතැයි ද එයින් STS දොඹකර 6 ක් සහ පර්යන්ත දොඹකර 20 ක් මේ වන විටත් ලැබී ඇතැයිද අමාත්‍යංශ පවසයි.
මීට අමතරව පර්යන්තය සහ ජැටිය අතර බහාලුම් මෙහෙයවීම සඳහා Straddle Carriers 30 ක් ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
ගෙන්වීමට යෝජිතව තිබු ඩීසල් වලින් ක්‍රියාත්මක වන Straddle Carriers වෙනුවට නවීන තාක්ෂණය සහිත පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වර්ගයේ Straddle Carriers ලබා ගැනීම සඳහා සුදුසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් නිර්දේශ ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.