හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ


ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඔහුගේ ‘ලිකුඩ්’ දේශපාලන පක්ෂ සාමාජිකයන් හමුවෙමිනි. තමන් ගාසා තීරයේ යුද පෙරමුණට ගොස් ඊශ්‍රායල හමුදා ප්‍රධානීන් සහ සෙබළුන් හමුවී, ඉදිරි මෙහෙයුම් ගැන සාකච්ඡා කළ බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බවටය.

ඊශ්‍රායල හමුදාව, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. එම අවස්ථාවේදී හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් 240 දෙනකු ප්‍රාණඇපයට ගත්තේය. දින කීපයක සටන් විරාමයක් අතරතුරේ ප්‍රාණ ඇපයේ සිටි 110 දෙනකුට නිදහස ලැබුණු නමුත් තවමත් 100 කට වැඩි පිරිසක් හමාස් ග්‍රහණයේ පසුවෙති.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කලට පහර දෙන්නේ ඉතිරි ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ බලාපාරොත්තුවෙනි. තමන් යළි සටන් විරාමයකට කැමැත්ත දක්වන්නේ සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්නේ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් යැයි හමාස් සංවිධානය අවධාරණය කර තිබේ.

හමාස් ග්‍රහණයේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් පස් දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාවට හමුවී තිබේ. ඒ, හමාස් සටන්කාමීන් සැඟවී පහර දීමට යොදා ගන්නා උමඟක් තුළිනි. හමාස් සංවිධානය පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් මියගියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බවය. එම ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල වැසියන්ගෙන් අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ.

(අල් ජසීරා)