ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගෙන එතැන් සිට කොළඹ තුංමුල්ල හන්දියේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය දක්වා දින පහක් තිස්සේ පා ගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේ එසේ වැඩම කළේ තනිව නොවේ. උන්වහන්සේ සැලසුම් කළ පරිදි විශාල පිරිසක් සමඟ නොවුණද, උන්වහන්සේ අත තිබුණේ කාගේත් අවධානය දිනාගන්නා අමුතු සැරයටියක් නොහොත් බස්තමකි. මේ වන විට කවුරුත් හඳුන්වන ආකාරයට කියන්නේ නම් ඒ නාග බස්තමකි.
ගාල්ලේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින බව පැවසෙන රත්නපුරේ බෝධිධම්ම හිමියන් මෙලෙස නාග බස්තමක් අත දරමින් මහ මඟට පා තබා තිබුණේ, ‘යක්ෂ රාජ වජිරපාණී‘ ගීතය මේ මහ පොළොව මත ඇති කළ උණුසුම පහව යන්නටත් මත්තෙනි.
සමාජ මාධ්‍ය පරිශීලකයන් පමණක් නොව රටේ ප්‍රධානියා වන ජනාධිපති අනුර කුමාර දිසානායකයන්ගේද අවධානය මෙකී නාග බස්තම වෙත යොමු වී ඇති බව පෙනුණේ, ජනාධිපතිවරයා විද්වත් සභාවක් අමතා කළ කතාවකදීය. එහිදී මැටි රූපයකට කටු ගැසීමක් මෙන්ම නයි පොල්ලක් රැගෙන ඒමක් ගැනද ජනාධිපතිවරයා කතා කළේය.
නාග බස්තම රැගෙන ඉකුත් 04 වැනිදා තුංමුල්ලට පැමිණි බෝධිධම්ම හිමියෝ, පා ගමන පුරා තමන්ට අපමණ නින්දා, අපහාස, උපහාසවලට පමණක් නොව තර්ජන, ගර්ජනවලට පවා ලක්වීමට සිදු වූ බව පැවසූහ. ජනාධිපතිවරයා කළ සඳහනද, විශේෂයෙන් එක්තරා රූපවාහිනී නාලිකාවක්ද, සමාජ මාධ්‍යද ඊට වගකිව යුතු බවට බෝධිධම්ම හිමියෝ එහිදී මාධ්‍යයට ප්‍රකාශ කළහ.
රට තුළ මහත් කලබැගෑනියක් ඇති කළ බෝධිධම්ම හිමියන් අත දරා සිටි නාග බස්තම ලී රිටක වෙලී ගත් නාගයකු මූර්තිමත් කළ අඩි 5ක් පමණ උසැති බස්තමකි. එය නාගයාගේ කඳ බස්තම් දණ්ඩ දිගේ පහළ සිට ඉහළට විහිදී ගොස් බස්තමේ මුදුනතදී නාගයා පෙනය පුප්පා සිටින විලාසයක් දක්වන්නකි. ඉතා අලංකාර ලෙස සැකසුණු නාග හිසේ රතු පාට මුවෙන් දළ පැහැදිලිව පෙනෙන්නට තිබීම එයට යම් ආකාරයක බියකරු පෙනුමක් එක් කොට ඇත. එසේම එම නාග බස්තම අලංකාර ලෙස වර්ණ ගන්වා තිබේ.
බෝධිධම්ම හිමියන්ට මෙන්ම නාග බස්තමටද සමාජ මාධ්‍ය හරහා ආණ්ඩු පක්ෂයේ හිතවතුන්ගෙන් වැදුණු මඩවල නිමක් නොවීය. විපක්ෂයේ පක්ෂවල ආධාරකරුවන් භික්ෂූන් වහන්සේට මඩ ගැසීමට සම්මාදම් වූයේ උන්වහන්සේ ආණ්ඩු පක්ෂය යෙදවූ අයකු බවට සැක කරමිනි. ඒ මදිවාට සිංහල ජාතික ව්‍යාපාරයන්ට සම්බන්ධ පිරිස්ද, හෙළය රකින්නට ඉදිරිපත්ව සිටින බව කියන සමාජ මාධ්‍ය පරිශීලකයන් පමණක් නොව අවශේෂ බොහෝ දෙනාද බෝධිධම්ම හිමියන්ට අපහාස, උපහාස මෙන්ම තර්ජන ගර්ජන කරන්නට වූහ. ඔවුන් මුහුණ දුන් ප්රශ්නය වූයේ, හුදෙකලා හිමිනමකගේ මෙම පා ගමන තුළ තම තමන්ගේ සැලසුම්ගත ව්‍යාපෘති සමාජ කතිකාවෙන් විතැන් වීමයි.
එතැනින් නොනැවතුණු මෙම රැල්ල, භික්ෂූන් වහන්සේගේ පා ගමනට මේ සා විශාල අවධානයක් යොමු වීමට හේතු වූ නාග බස්තම නිර්මාණය කළ කලාකරුවා වෙතද යොමු වන්නට විය. එය යන්ත්‍ර මන්ත්‍රාදී ගුප්ත විද්‍යාවන්ගෙන් බලගැන්වූ නාග බස්තමකැයි සැකයෙන් බියපත් වූවෝ, සමාජ මාධ්‍ය හරහා එහි නිර්මාණකරුටද පහරදීමේ උත්සාහයක නිරත වූහ.
කාලයක් තිස්සේ මෙවැනි නාග බස්තම් නිර්මාණය කර අලෙවි කරන ජේ.එල්. සුරංග ජයකොඩි මහතා තමාට නැfÛන චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තමාගෙන් කලාකෘති මිලදී ගන්නා අය කුමන කටයුත්තකට එය යොදා ගනීද යන්න ගැන තමාගේ බැඳීමක් නොමැති බවයි.
‘ඉරිදා ලංකාදීප‘ සුරංගට කතා කළේ මුහුණු පොත පමණක් නොව මුළු රටම කළඹන නාග බස්තම ගැන වැඩිමනත් තොරතුරු දැනගැනීමටයි.
ලී කැටයම් කලාව ජීවන වෘත්තිය කරගත් සුරංග, අවිවේකීභාවය මැද වුවද අප සමඟ කතා කරමින් තමා මෙම නාග බස්තම් නිර්මාණය කිරීම ඇරඹූ හැටි විස්තර කළේය. ඔහු අනුගාමිකයන් ලක්ෂ හතරකට වැඩියෙන් සිටින ‘Art with Sura‘ ෆෙස්බුක් පිටුවේ හිමිකරුද වේ.
“මම පාසල් යන කාලේ ඉඳලම ලී කැටයම් කලාවට කැමතියි. ඉස්සර තේ ගස්වල මුල් සුද්ද කරලා නොයෙක් රුක් කලාවන් කරලා තිබුණා. ඉන්ධන හිඟය ආපු කාලේ මම රැකියාවක් කරමින් හිටියේ. ලොකු ව්‍යාපෘති කරන සමාගමක ජේ.සී.බී. යන්ත්‍ර සහ බර වාහන
ක්‍රියාකරවන්නකු ලෙස වැඩ කරමින් හිටියා. ඉන්ධන නැති නිසා ඒ රැකියාව තවදුරටත් කරගෙන යන්න බැරි වුණා. සමාගම වැටුප් දුන්නෙත් නෑ. ගෙදර වියහියදම් පිරිමහගන්න යමක් කරන්න ඕනෑකම තිබුණා. ණය බරත් වැඩිවෙමින් තිබුණා. අන්තිමේ මගේ යතුරුපැදිය විකුණලා ණය තුරුස් ගෙවලා ලී කැටයම්වලට අවශ්‍ය ආම්පන්න ටිකක් අරන් වැඩේට අතගැහුවා. නිර්මාණවලට අතදෙනවා කියන රජයේ තැන්වලට ගියත් ඔය කියන විදිහට උදව් ලැබුණේ නෑ. මා ළඟ ලී කැටයම් ගොඩගැහෙන්න ගත්තා.”
“ඔය අතරේ දේවාලවලින් කතා කරලා නාග බස්තම් ඉල්ලන්න ගත්තා. එක්කෙනෙක් නෙමෙයි, වරින් වර කිහිපදෙනෙක්ම මට කතා කළා. ඒගොල්ලෝ ඉල්ලුවේ නයෙක් විදිහේ සැරයටියක් නැත්නම් හැරමිටියක්. විශාලත්වයෙන් වැඩි උස එකක්. දේවාලයක තියන්න කියලත් ඉල්ලුවා. වරම් තියෙන අයත් යම් යම් වැඩවලට කියලා ඉල්ලුවා. ඔහොම දිගටම ඉල්ලීම් එනකොට මම හිතුවා ඒ වැඩක් භාරගන්න. ඒ කට්ටිය තමන්ට අවශ්‍ය කරන විදිහ පෙන්වන්න ෆොටෝ දැම්මා. ඒ අනුව මම ටිකක් සාම්ප්‍රදායික නාග බස්තමක් මුලින්ම නිර්මාණය කළා. හැබැයි ඒ මුල්ම බස්තම ඔය හාමුදුරුවන්ට පූජා කළ බස්තමට වඩා වෙනස්. මම කළ නිර්ණයට ‘නාග බස්තම‘ කියලා නම තිබ්බේ මමයි.”
“මම දැන් වැඩි ගාණක් ගත්තත්, රුපියල් 20,000ටත් අඩු ගාණක් තමයි මුලින්ම බස්තමක් හදාගන්න ඇහුව අයට කිව්වේ. ඒත් ඒ ගාණ එයාලට වැඩියි වගේ වුණා. අදිමදි කරන්න ගත්තා. ‘කපු මහත්තයගෙන් අහලා කියන්නම්‘ කියලා එක්කෙනෙක් දවසක් කිව්වා. එතකොට තමයි මාත් දැනගත්තේ මේක මොකක් හරි ගුප්ත පැත්තේ වැඩකට ගන්න දෙයක් කියලා. පස්සේ මටත් හිතුණා ඒ ඇණවුම අරගෙන අඩු මුදලකට හරි කරලා දෙන්න. මම නිර්මාණයක් කළාම ඒ ආකාරයට කරන්නේ එකම එක නිර්මාණයයි. මගේ විනෝදාංශය නිර්මාණ කිරීම නිසාත්, ඒ වගේම මගේ ෆෙස්බුක් පිටුවට නිර්මාණ යොමු කරන නිසාත් එක නිර්මාණයක් එක් වරයි කරන්නේ.”
“මුලින්ම හදපු බස්තමෙන් පස්සේ ඒක දැකපු තවත් අය නාග බස්තම් ගැන විමසීම් කරන්න ගත්තා. මම ඊළඟට කතා කරපු කෙනාට බැහැයි කිව්වා, එක නිර්මාණයකින් කරන්නේ එකයි කියලා. දවස් ගාණක් කතා කළ නිසා බැරිම තැන ඒ ඇණවුම භාරගත්තා. ඒත් මුල් එකට වඩා වෙනස් විදිහට මුල්වරට අඩි පහේ නාග බස්තමක් හැදුවේ ඒ පාරයි. මුල් එකට වඩා වෙනස් කරලා තවත් ලස්සනට හැදුවා. මොකද මගේ ආසාව පිටුවට ලස්සනට දාන එක නිසා. එයින් පස්සේ තව තව ඇණවුම් ආවා. මම කරන්න භාරගත් අනික් වැඩ නිසා ටිකක් පහු කරලා ඒවා කරලා දුන්නා. පස්සේ වෙනත් කලා නිර්මාණ පහකට පස්සේ නාග බස්තම එකක් වගේ කරලා දෙන්න ගත්තා. ඔහොම ඇණවුම් වැඩි වුණා. මේ දැනුත් මම නාග බස්තම් 15ක වැඩ කරගෙන යනවා. මාස ගාණක් ඉස්සරහට මට ඇණවුම් තියෙනවා.”
“මම නාග බස්තම ඉල්ලන අයගෙන්ම දැනගත්තා මේ හදන නාග බස්තමට බල පිහිටුවන්න නම් ඒක කිරිගහක දැවයෙන් හරි ඖෂධීය දැවයෙන් හරි හදන්න ඕනේ කියලා. උදාහරණ වශයෙන් සුදු හඳුන්, කොහොඹ ආදී දැව. පසුව මම අන්තර්ජාලයෙනුත් මේවා ගැන වැඩිදුර කරුණු සොයා දැනගත්තා. පස්සේ මේවාට බල පිහිටුවන ක්‍රම පවා මා ළඟට එන අය කියා දුන්නා. ‘මේක අපේ පරම්පරාවේ රහසක්, ඒත් ඔයා වගේ හොඳ කෙනෙක්ට මේක දෙන්න ඕනේ‘ කියලා එයාලා කියනවා.
මගේ පිටුවෙන් මාත් ගුරු මුෂ්ටිය තියාගන්නේ නැතුව කැටයම් කලාව ගැන අපේ ලී කැටයම් කරන මිතුරු කැලට තොරතුරු ලබා දෙනවා. අපේ ජීවිත කාලය කෙටියි. අපි මේවා දෙන්නේ නැතුව තියාගත්තොත් මේවා ඔක්කොම නැතිවෙලා යනවා. ඒක සිංහල ජාතියට ලොකු පාඩුවක් වෙනවා.”
“ඇත්ත කියනවා නම් මගේ පරම්පරාවේවත් කවුරුවත් ලී කැටයම් කරලා නෑ. මේක මගේ ඇඟේ තිබුණු දෙයක්. පොඩි කාලේ ඉදලා මේවට කැමැත්ත දැක්වුවා. සාමාන්‍ය පෙළට චිත්‍ර කළේ; ‘ඒ‘ එකක් තියෙනවා. කලා අංශයෙන් උසස් පෙළත් කළා. පොඩි කාලේ මම ගේ ළඟ හිටපු මාමා කෙනෙක් කැටයම් කපනවා බලා හිටියා. ඒ කාලේ එයාලා කැමති නෑ කවුරුවත් බලා ඉන්නවට. කොත්මලේ ‘හැඳුණුවැව සෙන්ට්‍රල්‘ එකටයි මම ගියේ. නවවැනි වසරේ ඉඳලා කරපු කැටයම් අපේ ගෙදර තියෙනවා.”
කොත්මලේ ඉපදී කොත්මලේම පදිංචිව සිටින සුරංග දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔවුන්ගේ නිවස පිහිටා ඇත්තේ අපගේ ශේෂ්ඨ නිරිඳකු වන දුටුගැමුණු මහරජතුමා කිරුළු පළන් ස්ථානය බව විශ්වාස කරන පුසුල්පිටිය රජ මහා විහාරයට ආසන්නවය.
කෙසේ හෝ අවසානයේ බලද්දී බෝධිධම්ම හිමියන් ශ්‍රී දළදා මාළිගාවේ සිට පා ගමන අරඹා අත දරාගෙන පැමිණි නාග බස්තම උපත ලබා ඇත්තේ දුටුගැමුණු නිරිඳුන් කිරුළු පළන් පුසුල්පිටිය ග්‍රාමයේදී බව මෙයාකාරයෙන් හෙළිදරව් වීමද ඉතා අනපේක්ෂිත, පුදුම සහගත දෙයකි.
සුරංගම පවසන ආකාරයට ඔහු නාග බස්තම් නිර්මාණයට යොමු වී ඇත්තේ දෛවෝපගත ලෙසිනි. ලී කැටයම් කලාවේ යෙදුණු ඔහු අහම්බයකින් දේවාලයක් සඳහා නාග බස්තමක් සාදා දී, නාග බස්තම් නිර්මාණකරුවකු ලෙස ජනතාව අතර මෙන්ම ලී කැටයම්කරුවන් අතරද මේ වන විට විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියි.
නාග බස්තම සම්බන්ධයෙන් සැඟවුණු තතු ජනතාව වෙත ලබා දීම සඳහා අකුරු ගෙත්තම් කරන මෙම ලියුම්කාරිය නාග බස්තමක් මුල්ම වරට දැක ඇත්තේ මීට අවුරුදු 9කට පෙරය. ඒ අප කලා ශිල්පී සුරංග නාග බස්තම් නිර්මාණය කිරීමටත් පෙර සිටය. ඒ අප කලෙක සිට දන්නා හඳුනන, ඓතිහාසික සහ බෞද්ධාගමික කටයුතුවලදී සක් පිඹීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන දහම් ප්‍රසාද් මහතා අත රැඳුණු නාග බස්තමයි. කොටින්ම මීට වසර අටකට පමණ පෙර දහම් ප්‍රසාද් මුල්ම වර හමුවූ දා සිට ඉඳහිට කොතැනකදී හෝ හමුවෙද්දී මා ඔහු හඳුනාගන්නේ ඔහුගේ අත රැඳුණු නාග බස්තමෙනි. මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල භික්ෂූන් වහන්සේ කළ අරගලයේදීද, පසුව විහාරමහාදේවී උද්‍යානයේ එම පිරිස නැවතුණු අවස්ථාවේදීද නාග බස්තම සහ සංඛය අතින් ගත් දහම් ප්‍රසාද් දක්නට ලැබිණි.

වසර නවයකට පමණ පෙර පුසුල්පිටිය රජ මහා විහාරයේ චෛත්‍යය සොරුන් බිඳ එහි තිබූ වටිනා වස්තු ගෙන ගිය පුවත ප්‍රසිද්ධ වූ අවස්ථාවේ, බලවත් ශෝකයෙන් එහි ගිය කණ්ඩායමට මා මෙන්ම දහම් ප්රසාද්ද ඇතුළත් වූවෙමු. ඒ අප හිතවත් මන්ත්රාචාර්ය තරු සෙනවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙනි. කොත්මලේ සැඟව සිටි දුටුගැමුණු කුමරුට ගොපලු දෙවියන් තිළිණ කළ රන් කෙවිට නිධන් සොරුන් රැගෙන ගොස් තිබූ අතර, සොරුන්ට දඬුවම් දෙන ලෙසට දෙවියන්ට කන්නලව් කිරීමට එසේ ගිය කණ්ඩායමට නාග බස්තමක් අත දැරූ දහම් ප්‍රසාද් එදා සවියක් විය.
දහම් අත තිබූ නාග බස්තම, සුරංග විසින් බෝධිධම්ම හිමියන් වෙත පූජා කළ නාග බස්තමෙන් පැහැදිලිව වෙනස් වන්නේ දහම්ගේ නාග බස්තම නාගයකුගේ හැඩයට දඟර කපා තිබීමත්, සුරංගගේ බස්තම ලී දණ්ඩක් වටා නාගයකු එතී සිටින ලෙස නිර්මාණය කර තිබීමත් හේතුවෙනි. දහම්ගේ නාග බස්තම නිර්මාණය කළ කලා ශිල්පියා ගැන අප විමසූ අවස්ථාවේදී ඔහු අපට ‘වීරේ මාමා‘ යනුවෙන් අමතන ජී.ඩබ්ලියු.ආර්.එම්. වීරරත්න මහතා හඳුන්වා දුන්නේය. මේ වන විට 76 හැවිරිදි වියේ පසුවන වීරේ මාමා සිටින්නේ රත්නපුර ඩිපෝ හන්දියෙන් ඇතුළට වන්නට රේල් පාර අද්දර පිහිටි නිවසකය. දහම්ට ඔහු නාග බස්තම සාදා දී ඇත්තේ කොහොඹ ලීයකින් බව ඔහු කියයි. එවැනි බස්තමක් ලැබීමට දහම් සුදුස්සකු බව ඔහුට වැටහුණු නිසා, ලී කැටයම් ශිල්පියකු වන තමා වත්තේ වූ කොහොඹ ගසකින් ලී කොට එම නාග බස්තම නිමවා දුන් බවත්, පළමු බස්තම නැති වූ පසු දෙවන වරටද නාග බස්තමක් සාදා දුන් බවත් වීරේ මාමා ප්‍රකාශ කළේය. ලී කැටයම් ශිල්පියකු වන තමාට ඕනෑම ආකාරයක කැටයම් නිර්මාණයක් කිරීමේ හැකියාව ඇති බව වීරේ මාමා පවසන්නේ දැඩි විශ්වාසයෙනි.
සුරංගගේ ගමේ පන්සල වන පුසුල්පිටිය රජ මහා විහාරයේ රන් කෙවිට සොරුන් ගත් අවස්ථාවේ කොළඹ සිට නාග බස්තමක් රැගෙන අප කණ්ඩායමක් එහි යාමත්, අවුරුදු කිහිපයකට පසු දෛවෝපගත ලෙස පුසුල්පිටියෙන් සුරංග සෑදූ නාග බස්තමක් භික්ෂූන් වහන්සේ නමක අත රැඳී කොළඹ ඒමත්, රට ජාතිය සම්බන්ධයෙන් තමා තවමත් අවධියෙන් සිටින බවට දුටුගැමුණු මහරජු ලබා දෙන පණිවිඩයක්ද යනුවෙන් අප තුළ ඇති වන සිතුවිල්ල යටපත් කරගත නොහැක්කකි.
එසේම බුදුන් වහන්සේගේ කාලයේ සිටි, එමෙන්ම බුදුන් වහන්සේට ආරක්ෂාව සැලසූ නාගයන් කිහිපදෙනකු ගැන බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනට හේතු වූයේ චූලෝධර-මහෝධර නාග ප්‍රධානීන්ගේ සටනයි. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණු මහෝදරගේ මාමා කෙනෙකු වූ මණිඅක්ඛිත නාරජුගේ ඇරයුම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනට හේතු විය. මණිඅක්ඛිත නාරජුගේ රාජ්‍යය කැලණියේ පිහිටා තිබුණු බවත්, නාගදීපයේදී බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් එබ්බවූ අසුන කැලණි චෛත්‍යයේ තැන්පත් කළ බවත් කියැවේ.
බුදුන් වහන්සේට ආරක්ෂාව සැලසූ නා රජකු ලෙස මුචලින්ද නා රජු ගැන සඳහන් වේ. බුද්ධත්වයෙන් පසු හයවැනි සතියේදී දින හතක් පුරා ඇති වූ වැහි කුණාටුවලින් බුදුන් වහන්සේට ආරක්ෂාව සලසන ලද්දේ මුචලින්ද නා රජු විසිනි.
දහම්ගේ අදහස වන්නේද දහමේ ආරක්ෂාවට මිහිමතට පැමිණි නාගයින්ගේ නාග ශක්තීන් මේ වන විට මතුවෙමින් තිබෙන බවයි.
එලෙස බලන විට බුදුදහමට වින කටින අදැහැමින් සහ දේශානුරාගීන් ලෙස පෙනී සිටින්නන් හෝ හෙළයන් ලෙස වෙස්බැඳගත්තවුන් නාග බස්තම්වලට එරෙහිව හඬ නැඟීම පුදුමයක් නොවන බවද ඔහු කියයි. නාග බස්තම් ගැන සැඟවුණු රසවත් තොරතුරු ඉදිරි ලිපියකින් අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමු.
- නයනී තමාරා ( I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd