“ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය පිළිබද නව පර්යේශනයක්”


උදෑසන විනාඩි කිහිපයකින් හිස් කරන කිරි කෝප්පය, දවල් කෑමට පිඟානට එක්වන මාළු හෝ මස් කැබැල්ල, එසේ නොමැතිනම් සවස තේ වෙලාවට එක්වන බිත්තර සහිත කෙටි ආහාර‍ය අපේ මූලික දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරයි. නමුත් අපට නොපෙනෙන, එහෙත් අපගේ සෞඛ්‍යයට සහ නිරෝගී යහපැවැත්මට සෘජුවම තර්ජනයක් වෙමින් කෑම පිඟානටම පැමිණෙන අනාරාධිත අමුත්තෙකු සිටී. ඒ ක්ෂුද්‍රප්ලාස්ටික්ය.

මෙහි ඇති සැලකිලිමත් වියයුතුම කරුණ වන්නේ, ආහාර දාමය ඔස්සේ අපේ සිරුරට ඇතුළු වන මෙම ප්ලාස්ටික් අංශුවල අවසන් ගමනාන්තය කොතැනද යන්නයි. ඒවා කෙමෙන් ජෛව විශාලනය (Bio magnification) හා ජෛව සංචිතනය (Bio accumulation) වෙමින් ආහාර දාමය ඔස්සේ ඉහළට ගමන් කිරීම බරපතල ගැටළුවකි.

ගෝලීය ප්ලාස්ටික් අර්බුදය සහ ආහාර පද්ධතිය

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව, ලෝකය පුරා වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 400කට වඩා නිෂ්පාදනය වන අතර ඉන් විශාල ප්‍රමාණයක් වැයවන්නේ ආහාර ඇසුරුම් සඳහාය. මෙම ප්ලාස්ටික්වලින් 99%ක්ම ෆොසිල ඉන්ධන ඇසුරින් නිපදවන නමුත්, ප්‍රතිචක්‍රීකරණය වන්නේ 9%ක් වැනි ඉතාමත් කුඩා ප්‍රමාණයකි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පෙන්වා දෙන්නේ ශාක හා සත්ව පාදක ආහාර  නිෂ්පාදන ක්‍රියාවලියේදී වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 13.4ක් ද,  ඒවායේ ඇසුරුම් සඳහා තවත් ටොන් මිලියන 37.3ක් ද භාවිත වන බවයි.

කාලයත් සමඟ විශාල ප්ලාස්ටික් කැබලි මිලිමීටර 5ට වඩා කුඩා ක්ෂුද්‍රප්ලාස්ටික් සහ මයික්‍රෝමීටර 1ට වඩා කුඩා නැනොප්ලාස්ටික් බවට බිඳී යයි. ඇසට නොපෙනෙන මෙම අංශු, පාංශු හා ජලජ පද්ධති හරහා සෘජුවම අපේ ආහාර වලට එකතු වීම සිදුවේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) මගින්ද මෙම ප්ලාස්ටික් කැබලි පස, ජලය, සතුන් සහ අවසානයේ මිනිස් ආහාර පද්ධතිය දක්වා ගමන් කළ හැකි බව තවදුරටත් තහවුරු කර ඇත.

සත්ත්ව නිෂ්පාදන දාමය සහ ක්ෂුද්‍රප්ලාස්ටික් තර්ජනය

සත්ව පාලනය, කිරි දෙවීම, ප්‍රවාහනය සහ සැකසුම් ක්‍රියාවලිය ආදී සෑම අදියරකදීම ප්ලාස්ටික් භාවිත වේ.එළදෙනගෙන් දොවන කිරි  නිවසට එන තෙක් ගමන් කරන බඳුන්, ගොවිපොළේ සිට වෙළෙඳසැලට ආහාර ගෙන එන ඇසුරුම්, මස් හෝ මාළු කැබැල්ලක් අපේ අතට පත්වීමට පෙර ප්ලාස්ටික් සමඟ වන ගැටීම, ගැන අප අතරින් කීදෙනෙකු සිතනවා ඇතිද?ගොවිපොළවල සිටින සතුන් ගන්නා ආහාර සහ ජලය හරහා එම සතුන්ගේ සිරුරු තුළ ක්ෂුද්‍රප්ලාස්ටික් තැන්පත් වන අතර, මුහුදු පරිසර පද්ධතියට මුදාහැරෙන ප්ලාස්ටික් කැබලි ආහාර ලෙස වරදවා ගිලදමන මත්ස්‍යයන් හරහා ද මේවා මනුෂ්‍ය ආහාර දාමයට එක්වේ.

මෙහි ගැටලුව වන්නේ මෙම ක්ෂුද්‍ර හා නැනෝ ප්ලාස්ටික් අංශු ඇසට නොපෙනෙන තරම් කුඩා වීම පමණක් නොවන අතර ඒවා ජනනය වියහැකි අවස්ථා සහ ඒවා මිනිසා තුළට ගමන් කළ හැකි මාර්ග විශාල වීමයි.එම නිසා අද ක්ෂුද්‍රප්ලාස්ටික් පිළිබඳ පර්යේෂණ පරිසර විද්‍යාවට පමණක් සීමා වී නැති අතර එය ආහාර විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව (Material science) සහ මහජන සෞඛ්‍යය සමඟද සම්බන්ධ වී ඇත.

සෞඛ්‍යයට එල්ල වන නොපෙනෙන අවදානම

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආහාර, ජලය සහ වාතය හරහා ක්ෂුද්‍රප්ලාස්ටික්වලට නිරාවරණය වීම පිළිබඳ පවතින දත්ත හා තොරතුරු සමාලෝචනය කර ඇත. විශේෂයෙන් නැනෝ ප්‍රමාණයේ අංශු සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ අවශ්‍යතාව පවතී. විද්‍යාඟදයින් විසින් සිදුකර ඇති පර්යේශනාගාර හා සත්ත්ව අධ්‍යයනවලින් ප්‍රදාහය, ඔක්සිකාරක ආතතිය, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර සහ සෛලීය මට්ටමේ වෙනස්කම් වැනි ක්‍රියාදාම පිළිබඳ දත්ත හා තොරතුරු වාර්ථාවී ඇත. එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදනයේදී භාවිත වන ඇතැම් රසායනික ද්‍රව්‍ය, ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි බලපා ඇති ආකාරය  පිළිබඳවද අවධානයට ලක්ව ඇත. උදාහරණයක් ලෙස, Bisphenol A හෙවත් BPA පිළිබඳ යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය 2023 වසරේදී කළ නැවත ඇගයීමේදී, එහි tolerable daily intake නොහොත් දෛනිකව දරාගත හැකි අගය, පෙර අගයට වඩා 20,000 ගුණයකින් අඩු කර 0.2 ng/kg body weight/day ලෙස නියම කරන ලදී. මෙය ප්ලාස්ටික් සමඟ සම්බන්ධ රසායනික ද්‍රව්‍ය පිළිබඳ අවදානම් තක්සේරු කිරීමේ වැදගත්කම පෙන්වයි. මක්නිසාද මෙම රසායනික ද්‍රව්‍යය හෝමෝන අසමතුලිතතාවය වැනි  රෝග වලට මුලබීජ සපයයි.

පර්යේෂණ වලින් පෙන්වාදෙන ආකාරයට ආහාර සහ බීම ඇසුරුම් වලින් වාර්ෂිකව ක්ෂුද්‍රප්ලාස්ටික් ටොන් එක්දහස් පනහක් පමණ ආහාර වලට මුදාහැරීම සිදුවේ. මෙය එක් පුද්ගලයෙකු පරිභෝජනය කරන ප්‍රමාණය ලෙස ගත්කල වාර්ෂිකව මිලිග්‍රෑම් එකසිය තිස් එකක් පමණ වේ. මෙම අංශු වලින් බහුතරයක් මයික්‍රෝමීටර එකසිය පනහට වඩා කුඩා වන අතර, මෙම ප්‍රමාණය ජෛවී බාධක හරහා ගමන් කර පටක සහ සෛල සමඟ අන්තර්ක්‍රියා කිරීමට තරම් ප්‍රමාණවත් ය.

මෑත කාලයේදී සිදුකළ පර්යේශනවලින් මිනිස් සිරුරේ මොලය හා ස්නායු පද්ධතිය, අක්මාව, වකුගඩු, හදවත හා ගර්භනී මව්වරුන්ගේ කළල බන්ධය වැනි අවයව වල ක්ෂුද්‍රප්ලාස්ටික් අනාවරණය කරගෙන ඇත. මේ අනුව නූපන් බිලිදුන් පවා ක්ෂුද්‍රප්ලාස්ටික් වලට නිරාවරණය වීම අතිශය ඛේදජනක තත්වයකි.

ශ්‍රී ලංකාවෙන් ප්‍රායෝගික විසඳුමකට මුලපිරීමක්: CIRCULAR PACK ව්‍යාපෘතිය

යුරෝපා සංගමයේ CIRCULAR වැඩසටහන යටතේ Expertise France හි සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තුළ තනි-භාවිත ප්ලාස්ටික් භාවිතය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි ගොඩනැගීමේ අරමුණීන් රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය “CIRCULAR PACK” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එය ගාල්ල දිස්ත්‍රික්කයෙහි නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කරයි.

මෙහිදී ;

  • අප විසින් කොපමණ ප්ලාස්ටික් භාවිත කරනවාද?
  • එම ප්ලාස්ටික් වල ගමනාන්තය කොතැනද?
  • එම ප්ලාස්ටික් අතරින් කොපමණ ප්‍රමාණයක් පරිසරයට කාන්දු වෙනවාද?
  • ආහාර සමඟ එහි සම්බන්ධතාවය කුමක්ද?
  • ඒ වෙනුවට අපට ආහාරයට සුදුසු, පරිසරයට වඩා හිතකර, තාක්ෂණිකව ක්‍රියාකාරී සහ ප්‍රායෝගිකව භාවිත කළ හැකි විකල්පයන් මොනවාද?

යන්න ප්‍රධාන වශයෙන් පර්යේශනයට ලක්කරයි.

2026 අගෝස්තු 31 වන දින රුහුණු විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී CIRCULAR PACK ව්‍යාපෘතියේ අරමුදල් සැපයීමේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව (grant-signing event) පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රදානය සිදුකරනු ලබන්නේ Expertise France, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ GIZ (German Corporation for International Cooperation ) මගිනි.

එම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ ජයන්ත මහතා සමඟ ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය හසිත ප්‍රියශාන්ත මහතා, ව්‍යාපෘතියට අදාළ අනෙකුත් පර්යේෂකයන් සහ පර්යේෂණ සහායකයන් සහ Expertise France ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී මොහොමඩ් ගබ්ලා මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වූහ.

එය හුදෙක් ගිවිසුමකට අත්සන් තැබූ දිනයක් පමණක් නොවේ. ප්ලාස්ටික් පිළිබඳ ප්‍රශ්නය දත්ත බවටත්,එම දත්ත විද්‍යාත්මක සාක්ෂි බවටත්,එම සාක්ෂි විසඳුම් බවටත් පත් කිරීමට ගත් පළමු ප්‍රායෝගික පියවරක් ලෙස එය සැලකිය හැකිය.

එහි වඩාත් වැදගත් වෙනස වන්නේ, “ප්ලාස්ටික් භාවිත නොකරන්න” යන සරල පණිවිඩයකින් ඔබ්බට ගොස් ප්ලාස්ටික් භාවිතය පවතින්නේ කුමන හේතුවක් නිසාද, එය කිනම් අවස්ථාවේදී අපද්‍රව්‍ය බවට පත්වන්නේද, එය කළමනාකරණය කළ හැක්කේ කෙසේද සහ ඒ වෙනුවට ක්‍රියාකාරී විකල්පයක් නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්නට සාක්ෂි මත පදනම් වූ පිළිතුරු සෙවීමට මුලපිරූ CIRCULAR PACK ව්‍යාතිය දැන් දියත් වෙමින් පවතී.

සටහන : ආචාර්ය හසිත ප්‍රියශාන්ත (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ Circular Pack ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක), සනුරි අබිසේකා සිල්වා සහ දුලංජනි විජේරත්න (Circular Pack ව්‍යාපෘතියේ පර්යේෂණ සහායිකාවන්).