• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේ අවධානය යොමුකර ඇත්තේ ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වත්මන් අරමුදල් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමටයි

විමුක්ති එස්. රුද්‍රිගු


IMF මෙරට නේවාසික නියෝජිත 
මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල්

ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වන අරමුදල් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව වැඩසටහනකට එළැඹීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා බලධාරීන් බව ලංකාදීප එෆ්.ටී. කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව සමග නව වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නේද යන්න පිළිබඳව ලංකාදීප එෆ්.ටී. කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල් මහත්මිය මේ බව සඳහන් කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේ අවධානය යොමුකර ඇත්තේ ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වත්මන් අරමුදල් වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි බවද ඇය පැවසුවාය. එම වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇති බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙන් මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට ඉතිරිව තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය. වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වාගෙන යන සබඳතාවල ස්වභාවය පිළිබඳ තීරණය ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගත යුතු තීරණයක් බවද ඇය ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු විවිධ මූල්‍ය පහසුකම් සහ සහාය ලබාදීමේ ක්‍රමවේද පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් බවත්, ශ්‍රී ලංකාව ඉල්ලීමක් කරන්නේ නම් සුදුසු පරිදි සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, වත්මන් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු නව වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.