• නිවාස සහ සහාධිපත්‍ය ඉල්ලු‍ම් මිල ඉහළට 
  • පෙර වසරට සාපේක්ෂව දේපළ ඉල්ලු‍ම් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් 

මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා වන ඉල්ලු‍ම් මිල අඩු වෙද්දී නිවාස සහ මහල් නිවාස සහාධිපත්‍ය යනාදී දේපළ සඳහා වන ඉල්ලු‍ම් මිල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මහ බැංකුව විසින් වසරේ දෙවැනි කාර්තුව සඳහා නිකුත් කරන ලද සහාධිපත්‍ය වෙළෙඳපොළ සමීක්ෂණය සහ දේපළ මිල දර්ශකය පිළිබඳ වාර්තාව තුළ මෙම කරුණු අනාවරණය කර සිටියි. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා වන ඉල්ලු‍ම් මිලෙහි ප්‍රවණතා දර්ශකය පළමු කාර්තුවේදී පැවැති 176.9ක සිට දෙවැනි කාර්තුවේදී 173.2 ක් දක්වා පහළ බැස තිබේ. 

කෙසේ වෙතත් නිවාස සඳහා වන ඉල්ලු‍ම් මිලෙහි ප්‍රවණතා දර්ශකය පළමු කාර්තුවේදී පැවැති 187 ක සිට දෙවැනි කාර්තුවේදී 192.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම සහාධිපත්‍ය සඳහා වන ඉල්ලු‍ම් මිලෙහි ප්‍රවණතා දර්ශකය පළමු කාර්තුවේ පැවැති 208.2 ක සිට දෙවැනි කාර්තුවේදී 219.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර 2025 දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම දේපළ සඳහා වන ඉල්ලු‍ම් මිලෙහි ප්‍රවණතාව තවදුරටත් ඉහළ යෑමක් පෙන්නුම් කරමින්, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා වන ඉල්ලු‍ම් මිලෙහි ප්‍රවණතාව සියයට 15.2 කින්ද, නිවාස සියයට 9.0 කින්ද, සහාධිපත්‍ය සියයට 12.6 කින්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.