• දේශීය අමුද්‍රව්‍ය හරහා කෘෂිකාර්මික අගය වැඩිදියුණු කරමින්, ආහාර නිෂ්පාදනය  පාරිභෝගික  අවශ්‍යතා සපුරාලයි
CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Plenty Foods (Pvt) Limited  විසින් සිය උදෑසන ආහාර නිෂ්පාදන සන්නාමය වන,  Nutriline ධාන්‍යමය ආහාර නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින්, නවතම Nutriline Corn Flakes  නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. සියයට 100ක්ම දේශීයව වගා කරන ලද බඩඉරිඟු‍ යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම නවතම උදෑසන ආහාරය මඟින් පාරිභෝගිකයින්ට ඉහළ පෝෂණයක් ලබා දෙන අතරම, දේශීය කෘෂිකර්මාන්තයට සහ ඒ ආශ්‍රිත ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය ඉහළ නංවාලීමට CBL සමූහය දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.
මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මෙසේ අදහස් පැවසීය. CBL සමූහය සැමවිටම විශ්වාස කරන්නේ ජන ජීවිතයට සහ සමාජයට යහපත් බලපෑමක් ඇති කරන ආහාර සංස්කෘතියක් බිහිකිරීමටයි. අපගේ නිෂ්පාදන දෛනිකව පාරිභෝගිකයා වෙත සමීප කරමින්, එම ව්‍යාපාරික මෙහෙවරෙහි සැබෑ ප්‍රතිලාභ රැගෙන අප ‘ගොවි පවුල‘ වැනි සුවිශේෂී ව්‍යාපෘති හරහා දේශීය ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තය මත යැපෙන 21,000කට අධික ගොවි පවුල් ප්‍රමාණයක් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. නවතම Nutriline Corn Flakes යනු මෙම දැක්ම මත පදනම්ව නිෂ්පාදනය කෙරුණු තවත් නිෂ්පාදනයක්.“
 
අලු‍තින් හඳුන්වා දුන් Nutriline Corn Flakes නිෂ්පාදනයට, අමතර වර්ණක හෝ රසකාරක කිසිවක් අඩංගු කර නොමැති අතර එය ඉහළ යකඩ පෝෂක හා ප්‍රෝටීන් මෙන්ම අත්‍යවශ්‍ය විටමින් වර්ග 10ක පෝෂණ ගුණයකින් සමන්විත වේ. පාරිභෝගිකයන්ට සිය අවශ්‍යතාවලට ගැළපෙන අයුරින්, විවිධ ප්‍රමාණයන්ගෙන් සහ සහනදායී මිල ගණන් යටතේ නිෂ්පාදනය කර ඇති Nutriline Corn Flakes දිවයින පුරා පිහිටි සියලු‍ම වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ, අලෙවි සාමාන්‍යාධිකාරිනී සචි ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.“ කාර්යබහුල දෛනික ජීවන රටාව හේතුවෙන් ලාංකික පාරිභෝගිකයන්ගේ උදෑසන ආහාර පුරුදු වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන් දරුවන්ගේ පාසල් කටයුතු, වැඩිහිටියන්ගේ රැකියා සහ අනෙකුත් උදෑසන වගකීම් සමබරව කළමනාකරණය කරන පවුල්වල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් Nutriline Corn Flakes වෙළෙඳපොළට හඳුන්වා දීමට අප පියවර ගනු ලැබුවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට ගැළපෙන සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී ආහාර විකල්ප සඳහා පවතින ඉල්ලු‍ම නිවැරදිව හඳුනාගනිමින්, දේශීය වටිනාකම්ද වැඩිදියුණු කරමින් නිපදවා ඇති Nutriline Corn Flakes තත්පර කිහිපයකින් ඉතා පහසුවෙන් සූදානම් කරගත හැකි පෝෂ්‍යදායී උදෑසන ආහාරක්.“