නන්දා මාලිනී අපෙන් සමුගෙන අදට දෙමසක් හමාරය. ඇගේ අභාවය දැන් කෙමෙන් මතකයෙන් වියැකී ගියත්, ඇගේ මරණය මොහොතේවත් ඇය වසර හතළිහකට එහා නොහොත් දශක හතරකට පෙර තහනමට ලක් වූ ජනතා ගායිකාවක වූ බව බොහෝ දෙනාට අමතකව තිබුණි.

නන්දා මාලිනී හෙද වැඩවර්ජනයේ දී හෙදියනට පිහිටවීමට පැමිණියේ, ඈ එම ප්‍රශ්නයේ පන්ති ස්වභාවය තේරුම්ගත් කලාකාරියක වූ නිසාය. ජනතාවගේ බුද්ධියටත් හදවතටත් එකවර කතා කළ හැකි අසහාය බලයක් කලාකාරියක වශයෙන් තමන්ටද ඇති බව පමණක් නොව, ඒ ජනතාව වෙනුවෙන් බුද්ධිමත්ව කැප කළ යුතු බවද නන්දා මාලිනී පසක් කරගෙන සිටියාය. පසුගිය කාලයේ ඈ තම ජනතාවට ආදරයෙනුත් තම පන්තියට පක්ෂවත් සිය කලා කුසලතා කැප කළාය. එපමණක් නොව, ජගත් සාමය හා සමාජවාදය වෙනුවෙන් ද සිය මියුරුහඬ යෙදීමට ඇයට කිසිවකුගේවත් මඟ පෙන්වීමක් අවශ්‍ය වූයේ නැතැයි කිව හැකිය. රූපවාහිනියේ හෝ ගුවන්විදුලියේ දොරවල් තව කලක් එසේම වසා තබන්නට පාලකයෝ තීරණය කළහ. එහෙත් අවසානයේ ඉන් පරාජය වන්නේ තමන් බව එදා එම උඩඟු‍ පාලකයන් සහ මෝඩ නිලධාරීන් තේරුම් ගත්තේ නැත.

  • ජේ. ආර්. යුගයේ නන්දා මාලිනීගේ ගීත ප්‍රචාරය තහනම් කළ හැටි
  • “නන්දාගේ තහනම වෙනුවෙන් මොන කාන්තා සංවිධානයද හඬ නැඟු‍වේ ?”‍ - මහාචාර්ය සරච්චන්ද්‍ර අසයි
  • නන්දාගේ ගී තහනම නිසා ගුවන්විදුලියේ, රූපවාහිනියේ බලපත්‍ර ගාස්තු නොගෙවති
  • නන්දා මාලිනීගේ ගී තහනම ඉවත් කරගන්න විජය කුමාරතුංග ජේ. ආර්.ට යැවූ ලිපිය
  • නන්දාගේ තහනමට එරෙහිව පැවැති සමුළුවට පොලිසිය එළවා එළවා පහර දෙයි
  • “නන්දා මාලිනීට පාර්ලිමේන්තුව ඔච්චර බය ඇයි ?”‍ දිනේෂ් ගුණවර්ධන අසයි

 

එදා පැවැතියේ ජේ. ආර්. ජනාධිපතිගේ පාලන සමයයි. නන්දා මාලිනීගේ ගීත තහනම් කිරීමට එදා පැවැති රාජ්‍ය ගුවන්විදුලිය හා රූපවාහිනිය පියවර ගත්තේය. එදා පෞද්ගලික ටීවී, රේඩියෝ බෙහෙතකටවත් සොයා ගැනීමට තිබුණේ නැත.

මෙයින් හතළිස් වසරකට පෙර පුවත්පත් කලාවේදිනියක වූ චන්ද්‍රිකා විජයසුන්දර, නන්දා මාලිනියගෙන් ඇසූ ප්‍රශ්න හා ඒවාට නන්දා මාලිනී දුන් පිළිතුරු මෙසේය.

ගීත තහනමේ පසුබිම මොකක් ද? 

”‍ජීවිතයට බලපාන වැටුප් අරගලයක් මත ඇරඹුණු හෙදි සටන අවංකවම මම දුටුවේ සර්ව සාධාරණ සටනක් ලෙසටයි. වැඩ වර්ජිතව සිටි හෙදියන්ගේ ආර්ථික අපහසුතාවලට උරදීමක් ලෙසින් මම ප්‍රසංගයක් පවත්වලා ඒ මුදල ඔවුන්ට ප්‍රදානය කළා. එය ඔවුන් කිසිවකුගේ ඉල්ලීමක් නොවෙයි. මම මගේ කැමැත්තට ඉඩ දුන්නා. අද මම දඬුවම් විඳිනවා.”‍

එය වැඩ වර්ජිතයන් උසිගැන්වීමක් නොවේ ද? 

“ඇතැම් අය එසේ සිතනවා. මම නම් එහෙම හිතන්නෙ නෑ. කැමති කෙනකුට කැමති විදියට තීරණය කරන්න පුළුවන්.”‍

මේ තහනම ඉවත් කරන්න කියා හෙදියෝ ඔබ වෙනුවෙන් කිසියම් පියවරක් ගත්තා ද? 

“මම ඉටු කළේ මගේ යුතුකම. මම ඔවුන්ගෙන් කිසිවිටක ප්‍රතිඋපකාර බලාපොරොත්තු වුණේ නෑ. ඔවුන් තවමත් අසරණභාවයට පත් වූ පිරිසක්. අදත් ඔවුන් සේවය කරන්නේ ඉල්ලීම් දිනාගෙන නෙවෙයි. එහෙම වුණත් ඔවුන් දැනටමත් ලක්ෂ පහක් අත්සන් කරන පෙත්සමක් සකස් කරගෙන යනවා. ඒ වගේම විරෝධතා රැලියකුත් පවත්වන්නට යනවා කියා ආරංචියි.”‍

නන්දා මාලිනී ගායිකාව ඊට පෙරද තහනමට ලක්වී ඇති බව ඒ අවස්ථාවේ හෙළිදරව් කළේ මෙසේය.

ඔය වගේ තහංචි කලිනුත් සිදුවුණා ද? 

“ඔව්. 1971 අප්‍රේල් කැරැල්ල සමයේ මම හැටගණන්වල ගැයූ ගීත තහනම් වුණා. ඊට පසු හැත්තෑහතේදී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව අපි ගායන ශිල්පීන් ලියවිල්ලකට අත්සන් කළා. අනෙකුත් අය පසුව ඒ ප්‍රකාශනය ඉල්ලා අස්කර ගත්තත් මම නිහඬවම සිටියා. එතැනදී මගේ ගීත ගුවන්විදුලියේ මාස හයක්ම තහනම් වුණා.”‍

ඔබ මීට කලිනුත් එවැනි සහයෝගිතා සංදර්ශන පවත්වලා තියෙනව ද? 

“ඔව්. නවසිය හැත්තෑගණන්වල පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනයේ දී තනියම සර්පිනාව වයා මම ඔවුන්ට මුදල් ලබා දුන්නා. තවත් ස්ත්‍රී කම්කරු වැඩවර්ජනයක දී මම මගේ සහයෝගය දුන්නා. හෙදි සටන කියන්නේ එහි තවත් එකක් විතරයි. නන්දා මාලිනී කියන්නේ දුගී දුප්පත් පැල්පතක පේළි ගෙයකින්, අනුන්ගෙන් ඉඳුල් ඉල්ලාගෙන, ගවුමයි සෙරෙප්පු දෙකයි ඉල්ලාගෙන දෙපයින් නැඟී සිටිය කෙල්ලක්. මට මගේ පන්තිය ගැන ලොකු හැඟීමක් තියෙනවා. මම ඔවුන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මගේ කටහඬ පූජා කරනවා. ඒක නතර කරන්නට කිසිවකුටත් බෑ.”‍

නන්දා මාලිනීගේ ගීත තහනම ගැන එවක රාජ්‍ය විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වූ එදිරිවීර සරච්චන්ද්‍ර බිය නැතුව අදහස් පළ කළේ තමන් රජයේ සේවකයකු බව මොහොතක්වත් අවස්ථාවාදීව හිතා බලා නම් නොවේ. එච්. ආර්. ජෝතිපාල මියගිය අවස්ථාවේ ලක්ෂ ගණනක් ජනතාව උපහාර පුදන්නට පැමිණි විට, ජෝතිපාලට ඇත්තේ ගොරහැඬි  හඬක් බව පැවසූ සරච්චන්ද්‍රයන්, නන්දා මාලිනීගේ තහනම ගැන තවදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.

“නන්දා මාලිනී කලාකාරියක වශයෙන් තම යුතුකම ඉටු කළා. බලධාරීන් ඔවුන්ට පුළුවන් දේ ඇයට කළා. ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය මොකක් ද? ගුවන්විදුලිය තවත් පහතට වැටීම නෙවෙයි ද? ශ්‍රාවකයන් ඔය පාඩුව කොහොම හරි පිරිමහා ගත්තා කියමුකෝ. ගුවන්විදුලියට ඒකෙන් තමන්ට වූ පාඩුව මකාගන්න බෑ. මිනිස්සු තවත් ගුවන්විදුලිය ළඟින් ඈත් වෙනවා. මේක ඒගොල්ලෝ උඩ බලාගෙන කෙළ ගහගත්තාට දෙවැනි නෑ.“

“ඇත්ත වශයෙන්ම අපේ රටේ කලාකාරයෝ හුඟදෙනෙක් ජීවත් වෙන්නේ ආණ්ඩුවේ රස්සාවෙන් ලබන තුට්ටු දෙකෙන් නිසා ඔවුන් බියයි. ඇයි, පොඩ්ඩ වැරදුණු තැන උන්ට ගෙදර යන්න වෙන හින්දා. එතකොට ඔය කලාවෙන් පුළුවන්ද අද අපේ රටේ ජීවත් වෙන්න? සමහර රටවල නම් කලාකාරයෝ කිසිවිටෙක රජයේ සේවකයෝ නොවෙයි. ඔවුන් නිතරම ස්වාධීනයි. ඒ රටවල කලාකාරයෝ පෝෂණය කරන්නේ ජනතාව. ඒ කියන්නේ ඔවුන්ගේ නිර්මාණ ජනතාව මනාසේ අගය කරනවා. කේවල් නොකර ප්‍රදර්ශන, සංදර්ශනවලදී ඔවුන්ගේ නිර්මාණවලට මුදලින් වටිනාකම් දෙනු ලබනවා. ඒ නිසා ඒ කලාකරුවන්ට ජීවත් වෙන්න වෙනත් රැකියාවල් අවශ්‍ය නෑ. නමුත් අපේ රටේ ජනතාවට ඒ හැකියාව නෑ, ඔවුන් දිළිඳුයි.”

“කෝ මේ රටේ කාන්තාවන්? කාන්තා කොට්ඨාසයක් වෙනුවෙන් ඉදිරිපත්වීමයි නන්දා මාලිනී කළ වරද වී තිබෙන්නේ. ඒත් ඒ වෙනුවෙන් කතා කරන්න මොන කාන්තා සංවිධානයද මෙතෙක් ඉදිරිපත් වුණේ? කතා කළ යුතු, උද්ඝෝෂණය කළ යුතු මේ වගේ ප්‍රශ්නවලදී උන් නිශ්ශබ්දයි.”‍

බුද්ධිමතුන් හා කාන්තාවන් හැරුණු කොට මේ අවස්ථාවේ කලාකරුවන්ගේ නිහඬතාවය ගැන ඇයි ඔබ යමක් නොකියන්නේ ?

“මීට කලින් වතාවකුත් ගුවන්විදුලිය මගින් නන්දා, අමරදේව දෙදෙනාගේම ගීත තහනම් කළා. එදා කලාකරුවෝ රැසක් එකතු වෙලා සාමකාමී රැස්වීමක් පැවැත්වූවා කලාකරුවාගේ අයිතිවාසිකම් මොනවාද යන්න සලකා බැලීමට. එතැන දී ඒ සභාවේම කෙනෙක් වේදිකාවේ පුන්කළසට පයින් ගහලා, කලබල කරලා ඒක කඩාකප්පල් කරන්න කටයුතු කළා. අන්තිමේ දී මැරවරයන්ටයි පොලිසියටයි මුහුණ දෙන්නත් අපට සිදුවුණා.”‍

නන්දා මාලිනීගේ ගීත තහනම් කළ අවස්ථාවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලෝකයේ වෙනත් රටවල කලාකරුවන් මර්දනය කිරීමේ ප්‍රතිපත්ති ගැන විචාරය කළේ මෙසේය.

නන්දා මාලිනීගේ තහනමට එරෙහිව එදා පෙළපාලි ගිය බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු නියතය. නන්දා මාලිනීගේ ගී ගුවන් විදුලිය හා රූපවාහිනිය මඟින් ප්‍රචාරය කිරීම තහනම් කිරීමට විරුද්ධව 1986 අගෝස්තු 4 දින සවස ජෝන් ද සිල්වා රඟහල අසල භික්ෂූන් වහන්සේලා සියයකට අධික පිරිසක් සහ දහසකට අධික ජනතාවක් විරෝධතා පෙළපාලියක් පැවැත්වූහ.

“කලාකරුවන් වෙනුවෙන් මේ වගේ සාහසික පියවර ගන්න රටක් නම් මම දන්නේ නෑ. යම් යම් දේ වෙනුවෙන් යම් යම් පියවර ගන්න අවස්ථාව තියෙනවා. ඒත් අප වැනි සභ්‍යත්වයක් ඇති රටක මෙවැනි දේවල් අශිෂ්ටයි. විශේෂයෙන් නන්දා මාලිනිය වැනි ගැහැනියක වෙනුවෙන් මෙවන් තහනම් නියෝග පැනවීම වඩාත් ම්ලේච්ඡ ක්‍රියාව හැටියටයි මම දකින්නේ. කලාකරුවාට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට වෙනත් රටවල බොහෝ නිදහස තිබෙනවා. ළඟදී අප රටේදීම පුවත්පතකට පිලිපීන ජාතික කලාකරුවකු කියා තිබුණා ඔවුන්ගේ තත්ත්වය, ඔවුන් කෙතරම් නිදහස් ද කියා. ඔහු පුදුම වී තිබුණා නන්දා මාලිනීගේ ප්‍රශ්නය හමුවේ අපේ කලාකරුවෝ හා ජනතාව දක්වන නිහඬතාවය ගැන. ඇත්ත වශයෙන්ම පිලිපීනයේ පසුගිය මාකෝස්ගේ මර්දනකාරී ආණ්ඩුව පෙරළා දැමීමට ජනතාවගේ පැත්තේ සිට ඔවුන් ගෙනගිය අරගලය ඔහු එහිදී පැහැදිලිව පෙන්වා දී තිබුණා.”

“අද අපේ පාලක පක්ෂය දන්නවා කලාකරුවන්ගේ ශක්තිය. ඒකයි මේ මර්දනය. ඒකයි ඔවුන් කලාකරුවන් හීන් නූලෙන් ඇදගෙන ඔවුන්ගේ ඇම්බැට්ටයන් කරගෙන තියෙන්නේ, අපේ රටේ මිනිස්සු රවට්ටලා.”‍

මේ අතර 1986 අගෝස්තු හය වැනි දින, “නන්දා මාලිනීගේ ගීත තහනම පවතින තෙක් ගුවන්විදුලියේ හා රූපවාහිනියේ බලපත්‍ර ගාස්තු ගෙවන්න එපා”‍ යි ‘නිර්මාණ සංවාද කුලකය‘ මගින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

ජනප්‍රිය ගායිකාවකගේ කටහඬ ගුවන්විදුලියට හා රූපවාහිනියට තහනම් කළ හැකි නම්, එකී මාධ්‍ය සඳහා ගෙවිය යුතු වාර්ෂික බලපත්‍ර ගාස්තු නොසලකා හැරීමට ජනතාවට අයිතියක් තිබිය යුතු යැයි ගීත විශාරද නන්දා මාලිනියට පනවා ඇති තහනම හෙළා දකින නිර්මාණ සංවාද කුලකය මේ තහනම පිළිබඳව රජය කෙරෙහි දැඩි විරෝධය පළ කළේය.

ඇයට පනවන ලද තහනම හුදෙක් ගායිකාවකට පමණක් එරෙහිව කරන ලද්දක් නොව, සමස්ත ප්‍රගතිශීලී කලාකරුවාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස නිර්මාණ සංවාද කුලකය නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන් විය.

නන්දා මාලිනීගේ ගී තහනම ඉවත් කරන ලෙසත්, කලාකරුවන් මර්දනය කිරීම නතර කරන ලෙසත් රජයට බල කරමින් නිර්මාණ සංවාද කුලකය විසින් ප්‍රකාශයට පත් කර ඇති එම පත්‍රිකාවෙහි මෙසේ සඳහන් වුණි.

“කලාකරුවන් වන අප විසින් යුගයේ සැබෑ මුහුණුවර හඳුනාගෙන වෙස් මුහුණු ගැලවිය යුතුමය. යමෙක් තමා වෙස් මුහුණු දමා සිටින බව නොදන්නේ නම් ඒවා උදුරගෙන, ‘මේ ඔබ දමා සිටින වෙස් මුහුණයි‘ කියා ඔවුන් ඉදිරියේ පෙන්වා දිය යුතුය. ජනතාව එය නොවළහා කරනු ඇත.

හෙදියන්ගේ සාධාරණ අරගලය හමුවේ තම යුතුකම ඉටු කිරීමේ වරදට නන්දා මාලිනියගේ මුව වසා මුඛවාඩම් බැඳුණි. ප්‍රගතිශීලී කලාකරුවන්ට, පුවත්පත් කලාවේදීන්ට පමණක් නොව, අද දවස තුළ කම්කරුවන්, ගොවීන්, සිසුන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා, පූජකතුමන්ලාද ඇතුළු සැමටම විලංගු වැටී ඇත. අපි සැවොම මෙයට එරෙහි වෙමු”‍ 

නන්දා මාලිනීගේ ගී තහනමට පෙර - ජේ. ආර්.ගේ ජනාධිපතිවරණ සටන පටන්ගත් තැන සිට තහනමට ලක් වූ පුද්ගලයෙකු වූයේ ජනප්‍රිය නළු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංගයන්ය.

මුලින්ම නන්දා මාලිනීගේ තහනම ඉවත් කරන ලෙස ජේ. ආර්. ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන ලද්දේ විජය කුමාරතුංගයන් විසිනි. විජය විසින් යවන ලද ලිපියේ කොටසක් මෙසේය:

අතිගරු ජනාධිපති,
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා,
ජනරජ චතුරස්‍රය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,

මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කරන්නට මා අදහස් කළේ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නොව, අපේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුවිය යුතු සාධාරණත්වයක් කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරනු පිණිසයි.

සිංහලයේ අග්‍රගණ්‍ය ගායිකාව ලෙස අවිවාදයෙන් සැලකිය හැකි නන්දා මාලිනීගේ හඬ මෙරට රජයේ එකම රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් දැනට සිව් මසක පමණ කාලයක සිට ප්‍රචාරය නොවන බව ඔබතුමා දන්නවාදැයි මම නොදනිමි.

එය කිසියම් රජයේ නියෝගයක් නිසා සිදුවූවක් බව දැනගන්නට තිබේ. මා ස්ථිර ලෙසම විශ්වාස කරනුයේ එය ඔබතුමාගේ උවමනාවක් මත හෝ ඔබතුමාගේ නියෝගයක් මත ක්‍රියාත්මක නොවන බවයි.

නන්දා මාලිනී පසුගියදා වැඩ වර්ජිත හෙදියන් වෙනුවෙන් සංකේත සංදර්ශනයක් පැවැත්වීම හේතුවෙන්, එයට දඬුවමක් වශයෙන් ඇගේ ගීත ගුවන්විදුලියෙන් හා රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කර ඇති බවක් දැනගන්නට ඇත.

එම සංදර්ශනය ඇය පැවැත්වීමේ යුක්ති යුක්තභාවය සලකා බැලීමට මම වෙහෙස නොවෙමි. මා මෙහිදී පෙන්වා දෙනුයේ මෙරට පුරවැසියකු ලෙස තමන් කැමති දේශපාලන දර්ශනයක් දරන යමකුට සහයෝගය දැක්වීමේ අයිතියක් ඇති බවත්, ඒ හේතුවෙන් ජාතියක් අගය කරන කලාකාරියකගේ නිර්මාණ රජයේ ජනමාධ්‍යවල තහංචියට ලක්වීම සාධාරණ නොවන බවත්ය.

මෙරට ජාතික සමගියක් පැවැත්විය යුතු සමයක එවැනි මෙහෙවරක් කිරීමට සුදුසුම ගායිකාවක වන නන්දා මාලිනියට තහංචි පැනවීම ඉතාමත් නුසුදුසු ක්‍රියාවක් බව මගේ විශ්වාසයයි.

ගරු ජනාධිපතිතුමනි, දීර්ඝ කාලයක සිට මගේ නමත් රුවත් රජයේ ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් තහනමට ලක් කොට තිබූ බව ඔබතුමා දන්නවාදැයි මම නිසි ලෙස නොදනිමි. දැන් එම තහනම ඉවත් වී ඇති බව පසුගියදා පුවත්පත් මගින් මට දැනගන්නට ලැබුණි. මගේ එම තහනම පැවැති සමයේ මම ඔබතුමාගෙන් පෞද්ගලිකවම මා වෙනුවෙන් මෙවන් කිසිදු ඉල්ලීමක් නොකළෙමි. එහෙත් නන්දා මාලිනී වැනි ගායිකාවකට කවුදෝ විසින් පනවා ඇති මෙම අසාධාරණ තහනම කලාවේ නාමයෙන්, යුක්තිධර්මයේ නාමයෙන් ඉවත් කිරීමට යුක්තිගරුක ඔබතුමා වහාම උත්සුක වනු ඇතැයි මම විශ්වාස කරමි. එවන් පියවරක් වෙනුවෙන් මගේ කෘතඥතාව ඔබතුමාට නිරතුරුවම හිමි වනු ඇත.

ස්තූතියි,
මීට විශ්වාසී,
විජය කුමාරතුංග
ලේකම්,
ශ්‍රී ලංකා මහජන පක්ෂය.

මේ අතර නන්දා මාලිනීගේ තහනමට එරෙහිව එදා පෙළපාලි ගිය බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු නියතය. නන්දා මාලිනීගේ ගී ගුවන් විදුලිය හා රූපවාහිනිය මඟින් ප්‍රචාරය කිරීම තහනම් කිරීමට විරුද්ධව 1986 අගෝස්තු 4 දින සවස ජෝන් ද සිල්වා රඟහල අසල භික්ෂූන් වහන්සේලා සියයකට අධික පිරිසක් සහ දහසකට අධික ජනතාවක් විරෝධතා පෙළපාලියක් පැවැත්වූහ.

විරෝධතාවයන් දැක්වෙන සටන්පාඨ පුවරු ඔසවාගත් මෙම පිරිස අසාධාරණ ගීත තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

සංඝරත්නය පෙරටු කරගත් මහා ජනතාවගෙන් යුත් මෙම විරෝධතා පෙළපාළිය ඒ අවස්ථාවේදීම විසුරුවා හැරී බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයෙක් එවක පවසා සිටියේය.

එමෙන්ම නන්දා මාලිනීගේ තහනමට එරෙහිව පැවැති සම්මන්ත්‍රණයට පොලිසිය පහරදීම ගැන එදා පාර්ලිමේන්තු වාර්තාකරු දයා ලංකාපුරගේ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය. 

“නන්දා මාලිනී හා නූතන කලාව”‍ මැයින් 1986 අගෝස්තු 4 වැනිදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණයට සංස්කෘතික අමාත්‍යාංශය මුලින් අනුමැතිය දී, පසුව එම අවසරය අවලංගු කොට, එයට පැමිණි දහස් සංඛ්‍යාත රසිකයන් පොලිසිය ලවා එළවා දැමීම වැරදි වැඩක් යැයි මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

සභාව කල් තබන අවස්ථාවේ සංස්කෘතික ඇමැතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් නඟමින් කරුණු දැක්වූ ගුණවර්ධන මංත්‍රීවරයා, මීට කලින්ද තමා නන්දා මාලිනියගේ ගීත තහනම් කිරීම ගැන ඇසූ ප්‍රශ්නයට තවම පිළිතුරක් ලැබී නැති බවද කීය.

ජෝන් ද සිල්වා සමරු රඟහලේ සම්මන්ත්‍රණය තහනම් කිරීමෙන් රසිකයන්ගේ අයිතිය නැති කර ඇති බව කී මහරගම මන්ත්‍රීවරයා, එහෙත් රට බෙදීම ගැන කතා කරන රැස්වීම්වලට එම රඟහල ලබා දී ඇති බවද සඳහන් කළේය.

පසුගියදා නන්දාගේ සම්මන්ත්‍රණය තහනම් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වා යළිත් එම සම්මන්ත්‍රණය පැවැත්වීමට අවසර දෙනවාදැයි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රශ්න කළේය.

ලක්ෂ්මන් ජයකොඩි මහතා : “මේ සම්මන්ත්‍රණයට ඉස්සෙල්ලා අමාත්‍යාංශය අවසර දුන්නා. පසුව තහනම් කළා. එක්කෝ මුලදීම අවසර නොදී ඉන්න තිබුණා. මේ රජයේ සෑම කටයුත්තක්ම ඒ වගෙයි.”‍

වින්සන්ට් පෙරේරා මහතා : “කැත වැඩ.”‍

ජයකොඩි මහතා : “තමුන්නාන්සේ හොඳ කලාකරුවෙක්. ඔබතුමා මෙවැනි වැඩ නොකරන බව මා දන්නවා.”‍
අනතුරුව පාර්ලිමේන්තු කටයුතු ඇමැති වින්සන්ට් පෙරේරා සංස්කෘතික ඇමැති වෙනුවෙන් පිළිතුරු දෙමින් - “නන්දා මාලිනී හා නූතන කලාව”‍ මැයින් පැවැත්වීමට තිබූ සම්මන්ත්‍රණයක් සඳහා ජෝන් ද සිල්වා සමරු රඟහල කිසිවකු විසින් ඉල්ලා තිබුණේ නැතැයි කීය.

අක්මීමන මන්ත්‍රී : “නන්දා මාලිනීට ඇයි ඔය තරම් බය?”‍

වින්සන්ට් පෙරේරා : “නන්දා මාලිනීගේ සින්දුවලට මං හරිම කැමතියි. ඇය මගේ ඡන්දදායිකාවක්.”‍

එවක මුදල් ඇමැති වූයේ රොනී ද මෙල් ය. රාජ්‍ය බැංකු තුනක අනුග්‍රාහකත්වයෙන් එළිදැක්වූ ‘කල්පනා‘ සඟරාවේ කර්තෘවරයා වූයේ ගුණදාස ලියනගේ ය. ‘කල්පනා‘ සඟරාවට ආසිරි ගීයක් ‘ගුලී‘ විසින් ලියවාගන්නා ලද්දේ සුනිල් ආරියරත්න ලවාය. කලක් රේඩියෝ සිලෝන් එකේ ලොක්කා වූ අමරදේව හා නන්දා මාලිනී රොනීගේ මිතුරෝ වූහ. ‘කල්පනා‘ ආසිරි ගීය ගායනා කරන්නේ නන්දා ලවාද නැත්නම් අමරේ ලවාදැයි ගුලී ඇසුවේ රොනී ගෙනි.

“මේ දෙන්නා දැන් අවුරුදු විස්සකින් එකට ගායනා කරන්නේ නෑ. මම මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි දාන්නම්. මේ දෙන්නා එකතු කරලා ‘කල්පනා‘ ආසිරි ගීය ගායනා කරවන්න”‍ රොනී කීවේ ගුලීටය.

අන්තිමට ආසිරි ගීය නන්දා මාලිනී සහ අමරදේව විසින් ගයන ලදී. ගීතයේ මුල් කොටස ඇතුළත් ‘කල්පනා‘ සඟරාවේ ගුවන්විදුලි හා රූපවාහිනී දැන්වීම්ද තහනම් කරන ලදී. නමුත් එම සඟරාව මුළුමනින්ම රාජ්‍ය අංශයේ ප්‍රකාශයක් වීමද විශේෂත්වයකි.

එහෙත් දින කීපයකට පසු ‘ඇත්ත‘ පුවත්පත වාර්තා කළේ නන්දාගේ තහනම ඉවත් කොට ඇති බවය. එහි මෙසේ හෙළිදරව් කොට තිබුණි:

“නන්දා මාලිනීගේ ගී තහනම ඉවත් කරයි”‍

විශාරද නන්දා මාලිනීගේ ගී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට පනවා තිබුණු තහනම පෙරේදා සිට ඉවත් කර ඇත.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව මෙම තහනම ඉවත් කොට ඇති බව දැනගන්නට තිබේ. හෙදි වැඩ වර්ජනය පැවැති සමයේදී ඔවුන්ට ආධාර ලබාදීම සඳහා ගී ප්‍රසංගයක් පැවැත්වීමේ වරදට ඇගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. එම තහනම කොයිතරම් දැඩි වූයේද යත්, නන්දා මාලිනීගේ ගීතයකින් කොටසක් අඩංගු වූ වෙළෙඳ දැන්වීමක් පවා ගුවන්විදුලියෙන් ප්‍රචාරය නොකරන ලදී.

මෙම ම්ලේච්ඡ තහනම අහෝසි කරන ලෙස විවිධ සංවිධාන මගින්ද, විවිධ ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන පුද්ගලයන්ද නොයෙක් වර ඉල්ලා සිටින ලදී.

ඊට අමතරව පුවත්පත් මගින්ද මෙම තහනමේ අසාධාරණත්වය පෙන්වා දෙමින් උද්ඝෝෂණයක් ගෙන යනු ලැබීය.

නන්දා මාලිනී තහනම් වූ අවස්ථාවේ ඇය කළ ප්‍රකාශයක් ලිපිය අවසානයට එක් කරමි.

“නුගේගොඩ හන්දියේ ඉඳලා සත පහක්වත් අතේ නැතුව පාරට බැහැලා ගියත් මට මාස ගාණකට කෑම ලැබෙනවා. කරපිංචා විකුණන ආච්චිගේ සිට හැම කෙනෙක්ම මගේ රසිකයෝ. ඔවුන් මාව අතාරින්නේ නෑ.
කවුරු හරි කලාකරුවෙක් තමන්ට දේශපාලනයක් නැහැ කියනවා නම් ඔහු අමූලික බොරුකාරයෙක්, මායාකාරයෙක්. එය ඔවුන්ගේ බේරීමට සූක්ෂම ලෙස ආරෝපණය කරගත් වචනයක් පමණයි. තමන්ගේ චින්තනය අනුව සෑම කෙනකුටම තියෙනවා දේශපාලන දර්ශනයක්. ඒක පක්ෂ දේශපාලනය නොවෙයි. හැම වේදිකාවකම නැඟලා සින්දු කියන්නේ සල්ලි හොයන්න කියා කවුරුහරි කියනවා නම් ඒක බොරු කතාවක්. බුද්ධිමතුන් සල්ලියට යට කරගන්න බැහැ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට සල්ලි මිටියක් දීලා කෙනෙක් එයාගේ අදහස් පොතකට ලියා දෙන්න කිව්වොත් ඔහු ඒ මුදල පිළිගනීවි ද?”‍

මහින්ද රණවීර