2026 - SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල අවස්ථාවේදී සම්මාන ලැබූ HNBGI ජයග්‍රාහකයන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග.


දිවයින පුරා විහිදී ඇති සිය විකුණුම් ජාලයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සේවය වෙනුවෙන් වන සිය කැපවීමේ සාර්ථකත්වය යළිත් තහවුරු කරමින්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) පසුගියදා පැවැත්වුණු SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන පහක් (05) දිනා ගැනීමට සමත් විය. 2026 වසර සඳහා පැවැත්වුණු සම්මාන උළෙලේදී, ‘සාමාන්‍ය රක්ෂණ’ අංශය යටතේ ඉදිරි පෙළ (Frontline), අධීක්ෂණ (Supervisory) සහ කළමනාකරණ (Management) යන කාණ්ඩවලින් HNBGI සමාගම වෙනුවෙන් විකුණුම් අංශයෙන් ඉහළ දස්කම් දැක්වූ වෘත්තිකයන් පස් දෙනෙක් එලෙස මෙම ගෞරවනීය ඇගයීමට පාත්‍ර වූහ.
ඒ අනුව HNBGI සමාගමේ ඉසුරි සසින්ද්‍රි සූරියාරච්චි මෙනෙවිය ඉදිරි පෙළ (Front Liners - FL) කාණ්ඩයෙන් කුසලතා රිදී සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඩී.ඒ.එන්.ජී. රත්නවර්ධන මහතා විකුණුම් අධීක්ෂක (Sales Supervisor) කාණ්ඩයෙන් රිදී සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ පියුමාල් මංචනායක මහතා විකුණුම් අධීක්ෂක කාණ්ඩයෙන් ලෝකඩ සම්මානය දිනාගත් අතර, විකුණුම් විධායකවරයෙක් වන දුෂාන්ත යටිවැල්ල සහ ප්‍රාදේශීය කළමනාකරුවෙක් වන ඉංගලහේවගේ දොන් රොෂාන් ලසන්ත යන මහත්වරු කුසලතා සම්මාන (Merit Awards) මෙහිදී හිමිකර ගත්හ.
මෙම සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසී. “HNBGI සමාගමේ ස්ථාවර විකුණුම් වර්ධනය සහ දිනෙන් දින ඉහළ යන වෙළෙඳපොළ සාර්ථකත්වය, අපේ විකුණුම් බලකායේ කැපවීම සහ ඉහළ කාර්යසාධනය පෙන්නුම් කරන හොඳම සාක්ෂියයි. සමාගමක් වශයෙන් අපි නිරන්තරයෙන්ම ඔවුන්ගේ එම කැපවීම සහ දක්ෂතා ඇගයීමට ලක් කරන නමුදු, SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල වැනි ජාතික වේදිකාවකදී ඔවුන් ඇගයීමට ලක්වීම අතිශයින්ම සතුටට කරුණකි. HNBGI සමාගම අපේ විකුණුම් බලකායේ සාමාජිකයන්ගේ දියුණුව සහ සාර්ථකත්වය වෙනුවෙන් කිසිදු පසුබෑමකින් තොරව ආයෝජනය කිරීමට කටයුතු කරනවා. ඒ විකුණුම් අංශයේ සාර්ථකත්වය හරහා අපගේ ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට හැකි බව අපි විශ්වාස කරන නිසයි. ඒ නිසා ඉදිරියටත් අවශ්‍ය උපායමාර්ගික මෙවලම්, ඩිජිටල් හැකියාව සහ නායකත්ව සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින්, අපේ විකුණුම් බලකාය දිවයිනේ විශිෂ්ටතම විකුණුම් බලයන් අතර පෙරමුණේ රඳවා තැබීමට අපි අපේක්ෂා කරනවා.”‍
මෙම ජයග්‍රහණ පිටුපස ඇති කරුණු ඉස්මතු කරමින්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි විධායක උප සභාපති/ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ඉදිරි පෙළ නිලධාරීන්ගේ සිට ප්‍රාදේශීය කළමනාකරුවන් දක්වා විවිධ මෙහෙයුම් මට්ටම්වල ජයග්‍රහණ අත්පත් කරගැනීමට ඇති හැකියාව බහු-නාලිකා ආකෘතියක් යටතේ HNBGI සමාගම ලබා ඇති විශේෂඥතාවේ ගැඹුර මනාව පෙන්නුම් කරන්නක්. 
අපි සැමවිටම මෙහෙයුම් කඩිනම්භාවය සහ විකුණුම් වර්ධනය ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන සමාගමක්. එනිසා මෙම ජාතික ඇගයීම හරහා සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනය, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඉහළ ප්‍රමිති පවත්වාගෙන යාම සඳහා අප දක්වා ඇති කැපවීමේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු බව අපේ විශ්වාසයයි”‍ යන්නයි.
Agency, Corporate, Takaful, Broker, Direct යන විකුණුම් නාලිකා ගණනාවක් සහිත ‘බහු-නාලිකා ආකෘතියක්’ මත ක්‍රියාත්මක වන HNBGI සමාගම, සිය සුවිශේෂී විකුණුම් ක්‍රමෝපාය වෙනුවෙන් නිතර ක්ෂේත්‍රයේ පැසසුමට ලක් වූ සමාගමකි. 
HNBGI විකුණුම් බලකාය ව්‍යාපාර සංවර්ධන කාර්යාල 4ක සහාය ඇතිව, රට පුරා විසිරුණු ශාඛා 57ක ජාලයක් හරහා ක්‍රියාත්මක වන අතර HNBGI සමාගම, අඛණ්ඩ තාක්ෂණික ඒකාබද්ධතාව, ප්‍රමිතිගත ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) සහ කඩිනම් ප්‍රතිපෝෂණ ක්‍රමවේද හරහා නිරන්තරයෙන්ම ඔවුන් වෘත්තීයමය වශයෙන් සවිබල ගැන්වීමට කටයුතු කරයි. 
සිය ඉදිරි පෙළ විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයන් ව්‍යුහාත්මක ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට වෘත්තීය සංවර්ධනය සහ දිගුකාලීන වෘත්තීය අවස්ථා හිමි කර දීම සඳහා HNBGI සමාගම විසින් විවිධ අභ්‍යන්තර වේදිකා නිර්මාණය කර ඇති අතර, වාර්ෂික විකුණුම් සමුළුව සහ ‘ප්ලැටිනම් සමාජය’ (Platinum Club) වැනි ඇගයීම් ඇතුළත් ‘විකුණුම් විශිෂ්ටතා සම්මාන උළෙල’ මේ අතර විශේෂ වේ. මේ ආකාරයට සිය විකුණුම් බලකාය නිරන්තරයෙන්ම සවිබල ගන්වන සංස්කෘතියක් පවත්වාගෙන යාම හරහා ඉහළ කාර්යසාධනයක් පවත්වාගෙන යාමට HNBGI සමාගම සමත් වී ඇත.
HNBGI ආයතනය සිය දිගුකාලීන උපායමාර්ගික අරමුණු කරා සාර්ථකව ළඟා වෙමින් පවතින අවස්ථාවක ලැබූ මෙම නවතම ජාතික ඇගයීම, සමාගමේ එම සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරන විශේෂිත ජයග්‍රහණයක් ලෙස සමාගම සලකනු ලබයි.