සුමාල් ගමගේ


මේ වනවිට සේවකයන් 75කට අධික පිරිසක්


උසස් පෙළ දක්වා ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් මදි වුණා


නිෂ්පාදනවල ගුණාත්මක තත්වය ඉහළ මට්ටමක පැවති නිසා ඉල්ලු‍ම වැඩි වුණා


උණවටුන – ඩී. ජී. සුගතපාල


බිංදුවෙන් පටන්ගෙන ව්‍යාපාර ලෝකය ජයගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ගැන අපි අසා ඇත්තෙමු. එම ව්‍යාපාර නාමාවලියට අලු‍තෙන්ම එක්වන නමක් වන්නේ ගාල්ලේ බටගන්විල ඩච් ලන්කා පේස්ට්‍රි ඇන්ඩ් බේකර්ස් (DUCH  LANKA PASTRY and  BAKERS)  පෞද්ගලික සමාගමේ හිමිකරු වන සුමාල් ගමගේ තරුණ මහතාය.

මේ වනවිට සේවකයන් 75කට අධික පිරිසක් සමග ගාල්ල සහ අවට ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලුම ආහාර පාන වර්ග ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව ලබා දෙන අතර රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ උත්සව සඳහා ද ආහාර පාන සහ කෙටි ආහාර සපයන්නේද ඔහුය. 

 සුමාල් තරුණ මහතා අද දකුණේ අග නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන ව්‍යාපාරය සැබැවින්ම සාර්ථකය.

මෙම සර්ථකත්වයට පැමිණීම ගැන ඔහු ඉතා නිහතමානීව කතා කළේය. “මගේ පවුලේ අක්කා ඉන්නවා. මගේ අයියා රට ගිහිල්ලා. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් මදි වුණා. එත් මම අධෛර්යට පත් වුණේ නැහැ. පාසලෙන් අස් වුණාට පස්සේ කොග්ගල හෝටල් පාසලට ඇතුළු වුණා. මම එහිදී බේකරි නිෂ්පාදන සහ ආපන ශාලා පිළිබඳ පුහුණුව ලැබුවා.

හෝටල් පාසලෙන් අස් වුණාට පස්සේ ආයතන කිහිපයක පුහුණුවීම් කළා. ඒ වනවිට බේකරි නිෂ්පාදන පිළිබඳ මට හොඳ දැනීමක් තිබුණා. එනිසා මම කල්පනා කළා මගේ ව්‍යාපාරයක්ම පටන්ගන්න ඕනෑ කියලා. එහෙම හිතල මේ ආසන්න ස්ථානයක ලෑලි ගහපු පුංචි කඩ කාමරයක බේකරි ව්‍යාපාරය පටන් ගත්තා. අක්කා මුදල් සම්බන්ධ කටයුතු කළා. මම තනියම බේකරියේ වැඩ කළා. අපේ නිෂ්පාදනවල ගුණාත්මක තත්වය ඉහළ මට්ටමක පැවති නිසා එන්න එන්නම ඉල්ලු‍ම වැඩි වුණා. විශේෂයෙන්ම පාසල් සිසුන්ට ගුණාත්මක ආහාර නිෂ්පාදන ලබා දුන්නා.

ඒ අනුව එම ස්ථානයේ ඉඩ පහසුකම් මදි වුණා. එනිසා 2021 වසරේ මෙම ස්ථානයට ආවා. මේ වනවිට 75කට අධික සේවක සංඛ්‍යාවක් ස්ථිර සේවයේ යෙදී සිටිනවා. තවත් විශාල පිරිසක් අපේ ආයතනය හා සම්බන්ධ වී අමතර ආදායම් උපයා ගන්නවා.

මම දැන් ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙක්. මගේ බලාපොරොත්තුව සෑම ප්‍රධාන නගරයකම මගේ ආයතනයේ නිෂ්පාදන අලෙවිසලක් විවෘත කරන්නයි. ඒ සම්බන්ධයෙන් මම දැනට අනෙක් දිස්ත්‍රික්කවල කර්මාන්ත හා වාණිජ මණ්ඩල සමග සාකච්ඡා කරගෙන යනවා.

මෙවැනි ගුණාත්මක ආහාර නිෂ්පාදන ආයතනයක් පටන්ගන්න මුලින්ම මට අදහස ආවේ පන්ති යන කාලෙයි. අපි ගමේ ඉඳල ගාල්ලේ පන්තිවලට ආවා. එහෙත් හරිහැටි පිරිසුදුවට ගුණාත්මකව කෑම ගන්න සුදුසු තැන් තිබුණේ කිහිපයයි. ඒ දවස්වලම මට හිතුණා කවදා හරි මේ වගේ පිරිසුදු ගුණාත්මක ආහාර පාන නිෂ්පාදන තැනක් පටන්ගන්න ඕනෑ කියලා. අද එය මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම ළඟදිම අපේ ආයතනය වඩාත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලකට ගෙනියනවා. පාරිභෝගිකයාට අවශ්‍ය දේ සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මකව උසස් තත්වයෙන් ලබා දීම අපේ අරමුණයි.”