
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර
- ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026 ඇරඹෙයි
- මෙවර සමුළුව සඳහා ලෝකයේ විවිධ රටවලින් විදේශීය ආයෝජකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක්
ආර්ථික යථාවත් වීමෙන් ඔබ්බට ගොස් තිරසාර තරගකාරීත්වයක්, නවෝත්පාදනයක් සහ ආයෝජන මත පදනම් වූ වර්ධනයක් කරා ගමන් කිරීම ව්‍යාපාරික නායකයන් ලෙස සිය සාමූහික ප්‍රමුඛතාව විය යුතු බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි.
ඊයේ (12) දිනයේදී කොළඹදී ආරම්භ වුණු ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026 ආරම්භක දිනය අමතමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හවුල්කාරිත්ව, විශ්වාසය සහ සම්බන්ධතාව ගොඩනැගීමේදී මෙවැනි සමුළුව වැනි වේදිකා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
“2026 වසරේ ඉතිරි කාලය සහ 2027 වසර දෙස බලන විට, ආර්ථික දැක්ම මගින් වර්ධනය, ආයෝජන සහ කලාපීය සහයෝගීතාව සඳහා නව අවස්ථා උදා කර දෙනවා. ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිමත් වීම, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වන ආයෝජක විශ්වාසය සමග එක්ව, ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, වෙළෙඳාම පුළුල් කිරීමටත්, කලාපීය අගය දාමයන් සමග අපගේ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමටත් ප්‍රබල වේදිකාවක් නිර්මාණය කරනවා.”
මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ වූ අතර, ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමගින් සාකච්ඡාවකටද ජනාධිපතිවරයා එක් විය.
මෙහිදී ජනාධිපතිවරයා පිළිගනිමින් අදහස් දැක්වූ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා, ඉදිරි වසරවලදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා විදේශ ඍජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට යම් සහයෝගයක් වේ යැයි තරයේ විශ්වාස කරන බවත් සඳහන් කළේය.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලෝකයේ විවිධ රටවලින් විදේශීය ආයෝජකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව 800+ කට අධික පිරිසක් සහභාගී වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
පළමු දිනයේ ප්‍රධාන දේශකයා වූ ඉන්දියාවේ Reliance Consumer Products Ltd හි ප්‍රධාන විධායක නිලධාරී, ටී. ක්‍රිෂ්ණකුමාර් මහතා පිළිගනිමින් අදහස් දැක්වූ බාලේන්ද්‍ර මහතා, “ශ්‍රී ලාංකික වෙළෙඳ නාමවලට ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට හා එහි වර්ධනය වීමට ඔබ ලබා දෙන අඛණ්ඩ සහයෝගයට අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව පෙර නොවූ විරූ වේගයකින් වර්ධනය වන මොහොතක, දේශසීමා ඉක්මවා යන ව්‍යාපාරික හවුල්කාරිත්ව පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම් සහ අවබෝධය ඉතා වටිනවා.” යනුවෙන් පවසා සිටියේය.
එසේම මෙම සමුළුව හරහා නිර්මාණය වූ සම්බන්ධතා සහ අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ඉදිරි මාස කිහිපය තුළ සිය සාකච්ඡා ප්‍රායෝගික ව්‍යාපාරික ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමටත් බලාපොරොත්තු වන බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd