• මාර්තු මාසයේදී සියයට 28ක් දක්වා ඉහළ ගිය එම ප්‍රතිශතය ජ ූනි මාසය අවසන් වනවිට සියයට 25.4ක් අඩුවෙලා
  • පෞද්ගලික අංශයට ලබාදී ඇති ණයෙන් සියයට 41.8 ක් ලබාදී ඇත්තේ මෙරට පවුල් ඒකකවලට
  • සියයට 62.5ක් බැංකු මගින්ද ඉතිරි සියයට 37.5 බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාදීලා
  • 2026 මුල් මාස හයේදී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවර මට්ටමක
  • බැංකු අංශයේ අක්‍රීය ණය ප්‍රතිශතය සියයට 11.9 සිට සියයට 9.1 දක්වා පහළ ගිහින්
  • මූල්‍ය ස්ථාවරත්වයට ඇතිවිය හැකි අවදානම් ගැනත් හඳුනාගනී 

විමුක්ති එස්. රුද්‍රිගු

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පෞද්ගලික අංශයට ලබාදී ඇති ණයෙන් සියයට 41.8 ක් ලබාදී ඇත්තේ මෙරට පවුල් ඒකක සඳහා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ.

එහිදී සියයට 62.5ක් බැංකු මගින්ද ඉතිරි සියයට 37.5 බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාදී ඇති බව වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ පවුල් ඒකක සඳහා මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මෙම වසරේ ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලයේදී සියයට 25.4 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී මෙරට පවුල් ඒකක සඳහා ලබාදී ඇති ණය සියයට 14.8 කින් වර්ධනය වී තිබූ බවත් අනතුරුව මෙම වසරේ මාර්තු මාසයේදී සියයට 28ක් දක්වා එම ප්‍රතිශතය ඉහළ ගොස් නැවතත් ජූනි මාසය අවසන් වනවිට සියයට 25.4ක් දක්වා එම ප්‍රතිශතය පහළ ගොස් ඇති බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.

ගෘහ ඒකකවල ණය ප්‍රමාණය වේගයෙන් ඉහළ යෑම පාලනය කිරීමට මහ බැංකුව පියවර ගන්නේ දැයි විමසූ අවස්ථාවක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය මේ මොහොතේ විශේෂ අවධානයට ලක්විය යුතු ගැටලු‍වක් නොවන බවයි. ආර්ථික කටයුතු සඳහා ජනතාව ණය ලබාගන්නා බවත්, ණය ගැනීම අධික මට්ටමකට පත්වන විට පමණක් පාලන ක්‍රියාමාර්ග ගන්නා බවත්, රන් භාණ්ඩ සහ වාහන ණය සඳහා සීමා පැනවූයේ ඒ අනුව බවත් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කර තිබේ.

මැද පෙරදිග යුද ගැටුම්, ගෝලීය ඉන්ධන මිල ඉහළ යෑම, උද්ධමන පීඩනය සහ මෙරට බැංකු හා මූල්‍ය සමාගම් ලබා දෙන ණය ශීඝ්‍රයෙන් ඉහළ යෑම ඇතුළු අවදානම් රැසක් පැවතියද, 2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පැවැති බව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයේ දියුණුව සහ බැංකු හා මූල්‍ය සමාගම් සතුව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් හා ද්‍රවශීල වත්කම් පැවතීම එම ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. එමෙන්ම ගෘහ ඒකකවල ණය බර ඉහළ යෑම, ණය සඳහා ඇපකර ලෙස භාවිත කරන වාහන සහ රන් භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම් වෙනස් වීම, දේපළ මිල ඉහළ යෑම සහ උද්ධමන පීඩනය මූල්‍ය පද්ධතිය මුහුණ දෙන ප්‍රධාන දේශීය අවදානම් ලෙස මහ බැංකුව හඳුනාගෙන තිබේ.

බැංකු අංශයේ අක්‍රීය ණය ප්‍රතිශතය සියයට 11.9 සිට සියයට 9.1 දක්වා පහළ ගොස් ඇති අතර, එවැනි ණයවලින් සිදුවිය හැකි පාඩු පියවා ගැනීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ආවරණයද ඉහළ ගොස් තිබේ. එය බැංකු අංශයේ අවදානම්වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය වී ඇති බව පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි.

මේ අතර මැද පෙරදිග ගැටුම් තවදුරටත් දිග්ගැස්සීම සහ ගෝලීය බලශක්ති මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අංශයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි අතර, එමගින් උද්ධමනය ඉහළ ගොස් පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල ණය ආපසු ගෙවීමේ හැකියාව දුර්වල විය හැකි බව වාර්තාව අනතුරු අඟවයි.

ගෝලීය වෙළෙඳාමට ඇතිවන බාධා, සංචාරක ආදායම, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, විදේශ ප්‍රාග්ධන ගලා ඒම් සහ විනිමය අනුපාතයේ උච්චාවචන හරහාද මෙරට මූල්‍ය පද්ධතියට බලපෑම් ඇතිවිය හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි. 

මීට අමතරව මූල්‍ය සේවා ඩිජිටල්කරණය වීමත් සමග සයිබර් ප්‍රහාර, මූල්‍ය වංචා සහ තාක්ෂණික පද්ධතිවල බිඳවැටීම් ආශ්‍රිත අවදානම්ද ඉහළ යමින් පවතින අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ස්වාභාවික ආපදා මූල්‍ය ස්ථාවරත්වයට තවත් අභියෝගයක් වී තිබේ.