
ශ්රී ලංකා ජනරජයේ මුදල් අමාත්යවරයා සහ ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ මුදල් ප්රතිපත්ති එකඟතා ගිවිසුම මගින් ඉදිරි වසර තුනක කාලය සඳහාත් ශ්රී ලංකාව සඳහා සියයට 5 ක උද්ධමන ඉලක්කයක් ප්රකාශයට පත් කර ඇත. පසුගිය දිනවල දී ආර්ථිකයේ විවිධ ප්රකාශකරුවන් විසින් සියයට 2ක් වැනි අඩු උද්ධමන ඉලක්කයක් ශ්රී ලංකාවටද හඳුන්වාදිය යුතු බවට අදහස් දක්වා තිබුණි. මෙම ලිපියෙන් ශ්රී ලංකාවේ උද්ධමන ඉලක්කය එලෙස නොවෙනස්ව සියයට 5ක මට්ටමේ පවත්වා ගැනීමට බලපාන කාරණා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර ඇත.
ශ්රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ උද්ධමනය පාලනය කිරීමේ දී සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. 2022 ආර්ථික අර්බුදය අතරතුර උද්ධමනය සියයට 70කට ආසන්න මට්ටමකට ඉහළ ගිය අතර, එය ඉතිහාසයේ මෙතෙක් දක්නට ලැබුණු ඉහළම උද්ධමන මට්ටම විය. ඉන් අනතුරුව උද්ධමනය වේගයෙන් පහළ ගොස් 2024 සැප්තැම්බර් මස සිට 2025 ජූලි මස දක්වා ඍණ මට්ටම් ද වාර්තා විය. කෙසේ වෙතත්, මෑත කාලීනව උද්ධමනය නැවත ඉහළ ගොස් ඉලක්කගත මට්ටම ඉක්මවා ඇති අතර, මැද පෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති මිල ඉහළ යාම ඊට ප්රධාන වශයෙන් හේතු වී ඇත. මෙවැනි විශාල උච්චාවචනයන්ට මුහුණ දෙන ආර්ථිකයකට සුදුසු උද්ධමන ඉලක්කයක් කුමක් විය යුතුද යන්න වැදගත් ප්රශ්නයකි.
මහ බැංකු උද්ධමන ඉලක්කයක් තබාගන්නේ ඇයි?
නූතන මහ බැංකු බොහොමයක ප්රධාන අරමුණ වන්නේ අඩු සහ ස්ථායී උද්ධමනයක් පවත්වා ගැනීමයි. එයට හේතුව ඉහළ උද්ධමනය ආර්ථිකයේ අවිනිශ්චිතතාව වැඩි කරන අතර ජනතාවගේ මුදල්වලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය ක්රමයෙන් අඩු කරන බැවිනි.
උද්ධමන ඉලක්කයක් යනු අනාගත මිල ගණන් පිළිබඳ ජනතාවගේ සහ ව්යාපාරවල අපේක්ෂා ස්ථාවර කිරීමට උපකාරී වන මාර්ගෝපදේශයකි. එමගින් පවුල්වලට, ව්යාපාරවලට සහ ආයෝජකයන්ට වඩාත් හොඳින් දැනුම්වත් වූ ආර්ථික තීරණ ගැනීමට හැකි වේ.
එහෙත්, උද්ධමන ඉලක්කයක් ඉතා ඉහළ මට්ටමක හෝ ඉතා පහළ මට්ටමක තිබීම ද සුදුසු නොවේ. සුදුසුම උද්ධමන ඉලක්කයක් තීරණය කිරීමේ දී රටක ආර්ථික ව්යුහය, සංවර්ධන මට්ටම සහ එම රට මුහුණ දෙන ආර්ථික අවදානම් සැලකිල්ලට ගත යුතුය.
එක්සත් ජනපදය සහ යුරෝ කලාපය ඇතුළු බොහෝ සංවර්ධිත ආර්ථිකයන් සියයට 2ක උද්ධමන ඉලක්කයක් අනුගමනය කරයි. එම රටවල ආර්ථික ව්යුහය, මූල්ය වෙළෙඳපොළ සහ ආයතනික පද්ධති ශක්තිමත් වන අතර සැපයුම් හා බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ද සාපේක්ෂව ඉහළය. අනෙක් අතට, ඉන්දියාව වැනි නැගී එන ආර්ථිකයන් සියයට 4ක් හෝ 5ක් පමණ වන, සංවර්ධිත ආර්ථිකයන්හි ඉලක්කවලට වඩා ඉහළ උද්ධමන ඉලක්ක අනුගමනය කරයි. එවැනි රටවල පවතින ව්යුහාත්මක වෙනස්කම්, ආහාර හා බලශක්ති මිල ගණන්වල ඉහළ විචලතාව, සැපයුම් බාධා සහ බාහිර කම්පනවලට ඇති වැඩි නිරාවරණය සැලකිල්ලට ගනිමින්, මිල ස්ථායීතාව පවත්වාගෙන යන අතරම ආර්ථික වර්ධනයට ප්රමාණවත් අවකාශයක් ලබාදීම මෙවැනි සාපේක්ෂව ඉහළ උද්ධමන ඉලක්කවල අරමුණ වේ.
විවිධ හේතු මත උද්ධමනය ඇතැම් අවස්ථාවල දී ඉලක්කයෙන් අපගමනය විය හැකිය. එවැනි අවස්ථාවල දී උද්ධමන අපේක්ෂා ඉලක්කය වටා ස්ථාවරව තබා ගනිමින්, සුදුසු ප්රතිපත්තිමය ක්රියාමාර්ග අනුගමනය කිරීමෙන් උද්ධමනය නැවත ඉලක්කය වෙත ගෙන ඒම මහ බැංකු කාර්යභාරය වේ.
උද්ධමන ඉලක්කය සියයට 2 දක්වා අඩු නොකළේ ඇයි?
පහළ උද්ධමනය වඩා හොඳ යැයි බොහෝ දෙනා සිතනු ඇත. මන්ද, මිල ගණන් මන්දගාමීව ඉහළ යාම ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා කිරීමට උපකාරී වන බැවිනි.
එහෙත් ආර්ථික විද්යාව එතරම් සරල නොවේ. සැබෑ ප්රශ්නය වන්නේ සියයට 2ක උද්ධමන ඉලක්කයක් හොඳ ද නැද්ද යන්න නොව, එවැනි ඉලක්කයක් ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට අවශ්ය ආර්ථික පසුබිම ශ්රී ලංකාව තුළ පවතින්නේ ද සහ ඉලක්කය වෙනස්වීමේ ආර්ථික පිරිවැය දැරීමට ශ්රී ලංකාව සූදානම් ද යන්නයි. ශ්රී ලංකාව වැනි රටවල ආර්ථික යථාර්ථය සංවර්ධිත රටවලට වඩා බෙහෙවින් වෙනස්ය. අපගේ ආර්ථිකය තවමත් බාහිර කම්පන, විනිමය අනුපාත උච්චාවචනය සහ ආහාර හා බලශක්ති මිල ගණන් වෙනස්වීම්වලට ඉතා සංවේදී වේ. උදාහරණයක් ලෙස ඉතා අයහපත් කාලගුණික තත්ව හේතුවෙන් ආහාර සැපයුමට ඇතිවන බාධා ශ්රී ලංකාවේ ආහාර මිල ගණන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. එබැවින්, සංවර්ධිත රටකට සුදුසු උද්ධමන ඉලක්කයක් ශ්රී ලංකාවට ද එලෙසම සුදුසු වේ යැයි උපකල්පනය කළ නොහැක.
මෙරට උද්ධමන ඉතිහාසය
1977 ආර්ථිකය විවෘත කිරීමෙන් පසු ශ්රී ලංකාව උද්ධමනයේ ඉහළ සහ පහළ අවධි රැසක් අත්විඳ ඇත. 1977 සිට 2009 දක්වා කාලය තුළ සාමාන්ය උද්ධමනය සියයට 11කට වඩා ඉහළ මට්ටමක පැවති අතර, 2010 සිට 2021 දක්වා කාලය තුළ පවා සාමාන්ය උද්ධමනය සියයට 5ක් පමණ විය.
එනම්, ඉතා අඩු උද්ධමනයක් ශ්රී ලංකාවේ ඓතිහාසික අත්දැකීම අනුව සාමාන්ය තත්වයක් නොවේ. මෙයට හේතු වී ඇත්තේ අපේ ආර්ථිකයේ පවතින ව්යුහාත්මක ලක්ෂණ සහ නිරන්තරයෙන් මුහුණ දෙන දේශීය හා ගෝලීය කම්පනයි. ශ්රී ලංකාව තවමත් ගෝලීය තෙල් මිල ගණන් වෙනස්වීම්, ආහාර සැපයුම් කම්පන, ගෝලීය භූ දේශපාලනික අර්බුද, විනිමය අනුපාතයේ උච්චාවචන, විදේශ විනිමය ලැබීම්වල වෙනස්කම්, ආදී ආර්ථික කරුණුවලට ඉතා සංවේදී ආර්ථිකයකි. එවැනි ආර්ථිකයකට සංවර්ධිත රටක උද්ධමන ඉලක්කය ඍජුවම අනුගමනය කිරීම සුදුසු නොවේ.
ශ්රී ලංකාවේ ඓතිහාසික “ද්විත්ව හිඟ” ගැටලුව
ශ්රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ද්විත්ව හිඟ (Twin Deficits) තත්වයයි. දශක ගණනාවක් තිස්සේ ශ්රී ලංකාව ඉතා ඉහළ අයවැය හිඟයකට මෙන්ම, රටේ විදේශ විනිමය ලැබීම්වලට වඩා ගෙවීම් වැඩි වීම හේතුවෙන් ඇතිවන විදේශීය ජංගම ගිණුම් හිඟයකට ද මුහුණ දී ඇත.
එනම්, නිරන්තර බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ප්රමාණවත් විදේශ විනිමය සංචිත ස්වාරක්ෂකයක් හෝ රාජ්ය මූල්ය අවකාශයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් තිරසාර ලෙස ගොඩනගා ගැනීමට ශ්රී ලංකාව තවමත් වෙහෙසෙයි. මෙම තත්වය ආර්ථිකය බාහිර කම්පන හා විනිමය අනුපාත පීඩනවලට වඩාත් නිරාවරණය කරයි. එවැනි ආර්ථිකයකට ප්රතිපත්තිමය නම්යශීලීභාවයක් අවශ්ය වේ. ඉතා අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම එම නම්යශීලීභාවය සීමා කිරීමට හේතු වේ.
සියයට 5ක උද්ධමන ඉලක්කය තෝරාගත්තේ ඇයි?
පළමුවරට 2023 ඔක්තෝබර් මාසයේ දී, ශ්රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්යවරයා අතර මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එහිදී ශ්රී ලංකාවට සියයට 5ක උද්ධමන ඉලක්කයක් සඳහා එකඟතාවක් ඇති කරගන්නා ලදී. මෙම ඉලක්කය තීරණය කිරීමේ දී රටේ ආර්ථික ව්යුහය, ඉතිහාසයේ උද්ධමන අත්දැකීම් සහ දේශීය හා බාහිර කම්පනවල බලපෑම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබුණි.
ශ්රී ලංකාව සියයට 5ක උද්ධමන ඉලක්කයක් නැවතත් තෝරාගත්තේ අහඹු ලෙස නොවේ. එය තීරණය කිරීමේ දී රටේ ආර්ථික ව්යුහය, බාහිර අවදානම්, සැපයුම් අංශයේ බාධක සඳහා සැලකිය යුතු ප්රමාණයක ප්රතිපත්ති නම්යශීලිභාවයක් පවත්වා ගැනීම මෙන්ම රටෙහි සංවර්ධන අවශ්යතා ද සැලකිල්ලට ගෙන ඇත. මෙම ඉලක්කයෙන් මිල ස්ථායිතාව පවත්වා ගනිමින් ආර්ථික ක්රියාකාරකම් සඳහා සුදුසු පසුබිමක් පවත්වා ගැනීම අතර සමතුලිතතාවක් ඇති කිරීමට උත්සාහ කරයි.
සියයට 5ක උද්ධමන ඉලක්කයෙන් තාවකාලික කම්පන හමුවේ යම් ප්රතිපත්තිමය නම්යශීලීභාවයක් පවත්වා ගැනීමට අවකාශ සැලසෙන අතර, ශ්රී ලංකාවේ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගත් විට එය “අඩු සහ ස්ථායි උද්ධමනයක්” පවත්වා ගැනීම සඳහා සුදුසු මට්ටමක් ලෙස සැලකිය හැකිය.
අඩු සහ ස්ථායි උද්ධමනයක් පවත්වා ගැනීම මහ බැංකුවේ මුදල් ප්රතිපත්තියෙන් පමණක් කළ හැකි දෙයක් නොවේ. උද්ධමනය, මහ බැංකුවේ පාලනය යටතේ පුළුල් ලෙස පවතින ඉල්ලුම් තත්වයන්ගේත් එහි පාලනයෙහි නොමැති සැපයුම් තත්වයන්ගේත් එකතුවකි.
රට තුළ භාණ්ඩ හා සේවා වැඩි කාර්යක්ෂමතාවකින් නිෂ්පාදනය කිරීම, දේශීය සැපයුම් ධාරිතාව පුළුල් කිරීම සහ විශේෂයෙන් ආහාර හා බලශක්ති ජනතාව වෙත අඛණ්ඩව හා සාධාරණ මිලකට ළඟා වන පරිදි රටෙහි සැපයුම් දාම ශක්තිමත් කිරීම ද අඩු සහ ස්ථායි උද්ධමනයක් සඳහා අත්යවශ්ය වේ. එවිට කාලගුණික බලපෑම්, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම් හෝ වෙනත් තාවකාලික සැපයුම් බාධා ඇති වූ විට, ඒවායේ බලපෑම දේශීය මිල ගණන් වෙත පැතිරීම සීමා කළ හැකිය. මෙවැනි ආර්ථික පදනම් ශක්තිමත් වූ විට, පොලී අනුපාතික ඉහළ නැංවීම වැනි දැඩි මුදල් ප්රතිපත්ති ක්රියාමාර්ග මත අධික ලෙස රඳා නොසිට, අඩු සහ ස්ථායි උද්ධමනයක් දිගුකාලීනව පවත්වා ගැනීම වඩාත් පහසු වේ.
සියයට 2ක ඉලක්කයක ආර්ථික පිරිවැය
සියයට 2ක උද්ධමන ඉලක්කයක් පිළිබඳ යෝජනා කරන බොහෝ දෙනා, ශ්රී ලංකාව එලෙස සියයට 5ක උද්ධමන ඉලක්කයක සිට සියයට 2ක උද්ධමන ඉලක්කයක් කරා ගමන් කිරීමේ දී දැරීමට සිදුවන ආර්ථික පිරිවැය පිළිබඳව හිතාමතා හෝ අදහස් නොදක්වයි. එලෙස සියයට 2ක ඉතා අඩු උද්ධමන ඉලක්කයක් ලබා ගැනීමට, විශේෂයෙන් සංක්රාන්ති කාලය තුළ, ශ්රී ලංකා මහ බැංකුවට දැඩි මුදල් ප්රතිපත්තියක් දිගු කාලයක් පවත්වාගෙන යාමට සිදුවිය හැකිය. එවැනි තත්වයක් තුළ, වෙළෙඳපොළ පොලී අනුපාතික ව්යුහයම ඉහළ මට්ටමක පැවතීම, පරිභෝජනය මන්දගාමී වීම, ණය වර්ධනය මන්දගාමී වීම, ආයෝජන පහළ යාම, ආර්ථික වර්ධනය මන්දගාමී වීම වැනි බලපෑම් ඇතිවිය හැකිය.
ශ්රී ලංකාව තවමත් ගැඹුරු ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක, මෙවැනි ප්රතිපත්තිමය පිරිවැය ද සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.
රැකියා සහ ආයෝජන සඳහා ඇති බලපෑම
ආර්ථීකයේ සමස්ත තත්වයට නොගැලපෙන ඉතා අඩු උද්ධමන ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා දිගු කාලයක් පුරා දැඩි මුදල් ප්රතිපත්ති ස්ථාවරයක් ක්රියාත්මක කිරීමට සිදුවිය හැකිය. අඛණ්ඩව ඉහළ පොලී අනුපාතික පවත්වා ගැනීම ව්යාපාර සඳහා ණය ගැනීමේ පිරිවැය ඉහළ නංවන අතර එහි ප්රතිඵලයක් ලෙස, ව්යවසායකයන්ගේ නව ආයෝජන කල් දැමිය හැකිය. කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරවලට මූල්ය පහසුකම් ලබා ගැනීමේ පිරිවැය ඉහළ යාම, රැකියා උත්පාදනය මන්දගාමී වීම, වැටුප් වර්ධනය පහළ යාම ආදී ආර්ථික ප්රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත.
ආර්ථික වර්ධනය, ආයෝජන සහ රැකියා උත්පාදනය යළි ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන ආර්ථිකයකට මෙම පිරිවැය නොසලකා හැරිය නොහැක.
එසේ නම්, සියයට 2ක උද්ධමන ඉලක්කයක් ලබා ගැනීමට මෙය සුදුසුම කාලයද?
පිළිතුර “තවම නැත” යන්නයි.
එයින් අදහස් කරන්නේ සියයට 2ක උද්ධමන ඉලක්කයක් ශ්රී ලංකාවට කිසිදා සුදුසු නොවන බව නොවේ. වර්තමාන ආර්ථික තත්වය යටතේ එවැනි ඉලක්කයක් වෙත ගමන් කිරීමේදී දැරීමට සිදුවිය හැකි පිරිවැය සහ අවදානම් සැලකිල්ලට ගනිමින්, එවැනි වෙනසක් සඳහා සුදුසු කාලය තෝරා ගැනීම වැදගත්ය.
ශ්රී ලංකාව උද්ධමනය පාලනය කිරීමේ දී විශාල ජයග්රහණයක් ලබා ඇත. එහෙත් රට තවමත් ආර්ථික යථා තත්වයට පත්වීමේ ක්රියාවලියේ පසුවන අතර, දේශීය හා ගෝලීය කම්පනවලට සංවේදීව පවතී.
අනාගතයේදී,
ඵලදායිතාව සහ දේශීය සැපයුම් ධාරිතාව තවදුරටත් ශක්තිමත් වූ විට,
ශක්තිමත් සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති වූ විට,
රාජ්ය මූල්ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වූ විට,
සැපයුම් අංශයේ බාධක සඳහා පිළියම් යෙදීමට හැකි රාජ්ය මූල්ය අවකාශය නිර්මාණය වූ විට,
බාහිර අංශයේ අවදානම් කළමනාකරණය කිරීමට ප්රමාණවත් බාහිර ස්වාරක්ෂක ගොඩනගා ගත් විට,
උද්ධමන අපේක්ෂා යහපත් ලෙස ස්ථාවර වූ විට,
ක්රමිකව සියයට 2ක ඉලක්කයක් වෙත ළඟාවීම පිළිබඳව ශ්රී ලංකාවට සලකා බැලිය හැකිය. එනම්, වර්තමාන ප්රතිපත්ති විවාදය විය යුත්තේ සියයට 2ක උද්ධමන ඉලක්කය හොඳ ද නරක ද යන්න පිළිබඳ නොවේ. සැබෑ ප්රශ්නය වන්නේ, සියයට 2ක උද්ධමන ඉලක්කයක් ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට අවශ්ය ආර්ථික පරිසරය ශ්රී ලංකාව තුළ නිර්මාණය වී ඇතිද යන්නයි.
ශ්රී ලංකාවේ උද්ධමන ඉතිහාසය, ඓතිහාසික ද්විත්ව හිඟ ගැටලුව සහ තවමත් සිදුවෙමින් පවතින ආර්ථික යථා තත්වයට පත්වීම සැලකිල්ලට ගත් විට, මිල ස්ථායිතාව සහ ආර්ථික වර්ධනය අතර නිසි සමතුලිතතාවක් ඇති කරන මධ්යස්ථ උද්ධමන ඉලක්කයක් මේ අවස්ථාවේ වඩාත් සුදුසු ප්රවේශයක් වනු ඇත. උද්ධමන ඉලක්කය සැකසීමේ දී සෑම විටම අඩුම සංඛ්යාව තෝරා ගැනීම ප්රධාන කරුණ නොවන අතර රටේ ආර්ථික යථාර්ථයට වඩාත් ගැලපෙන සංඛ්යාව තෝරා ගැනීම සැබෑ අභියෝගය වේ.
ප්රකාශිත අදහස් ලියුම්කරුගේ අදහස් වන අතර ශ්රී ලංකා මහ බැංකුවේ අදහස් අවශ්යයෙන් ම පිළිබිඹු නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd