ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති ඉන්ද්‍රා සිල්වා, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා, සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සජිනි සිල්වා යන මහත්ම මහත්මීන් පීත්ත පටිය කපා, නව FOTONසේවා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ අයුරු. 


ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම (Indra Traders Pvt Ltd), විසින් සිය පාරිභෝගිකයන් වෙත සැපයෙන අලෙවියෙන් පසු සේවය තවදුරටත් පුළුල් කරමින් අති නවීන FOTON සේවා මධ්‍යස්ථානයක් ජා-ඇල ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කරන ලදී.
වාණිජ වාහන හිමිකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට තම වාහන අලු‍ත්වැඩියාව සඳහා ගතවන කාලය අවම කරගැනීම ඍජුවම නිෂ්පාදනයට සහ ආදායමට බලපානු ලබයි. එම අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් විවෘත කළ මෙම නව ජා-ඇල සේවා මධ්‍යස්ථානයෙන් වාහන නඩත්තුව, අලු‍ත්වැඩියාව, පරික්ෂාව (Diagnostics), FOTONනිල අමතර කොටස් ලබාදීම සහ පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතුළු සියලු‍ පහසුකම් එකම වහලක් යටින් ලබාගත හැකිය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් FOTON මෙට්‍රෝ බස් රථ 114 ක් සපයා ඇති ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, මෙරට ධාවනය වන FOTON වාහන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඊට ගැලපෙන යටිතල පහසුකම් නැංවීමට අඛණ්ඩව ආයෝජනය කරයි.
2006 වසරේදී ආරම්භ වූ FOTON සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අතර දීර්ඝකාලීන සහයෝගිතාවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සේවා මධ්‍යස්ථානය, වාහනයක් අලෙවි කිරීමට පමණක් සීමා නොවී, වාහනයේ සමස්ත භාවිත කාලසීමාව පුරාම පාරිභෝගිකයාට විශ්වාසනීය අලෙවියෙන් පසු සේවයක් සැපයීමට සමාගම දක්වන කැපවීම විදහා දක්වයි.
මෙහිදී අදහස් දැක්වූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා මෙසේ පැවසීය. “ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම චීනයේ Foton සමාගමත් සමග ගිවිසුම්ගත වෙන්නේ 2006 වසරේදී. මේ වනවිට වසර 20කට ආසන්න කාලයක් ගත වෙනවා. අප මෙරට වෙළෙඳපොළට ගැලපෙන වාහන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කරලයි 2008 වසරේදී ප්‍රථම Foton වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ. එදා අප හඳුන්වා දුන් Foton ට්‍රක් රථ මාදිලි, විශේෂයෙන්ම Foton ඩබල් ට්‍රක් රථය අදටත් පාරිභෝගිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක පවතින්නේ අප සැලසූ අලෙවියෙන් පසු විශිෂ්ට සේවය සහ අමතර කොටස් නිසි ලෙස ලබාදීම නිසයි.
දශක පහක පාරිභෝගික විශ්වාසය දිනූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම ලෙස ජා-ඇල මෙම ස්ථානය අප ආරම්භ කිරීමට කටයුතු කළේ විශාල වාහන සඳහා සේවා සැපයීම අරමුණු කරගෙනයි. ඉදිරියේදී එවැනි විශාල වාහන හඳුන්වාදීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. එම වාහන මීටර් 12ක් දක්වා විශාල වාහනයි. එවැනි වාහන සඳහා සේවා සැපයිය හැකි විශාල ඉඩකඩක අවශ්‍යතාව සපුරාලීමටයි අප මෙම සේවා ස්ථානය ආරම්භ කළේ. මීට අමතරව කැලණිය ප්‍රදේශයේත් තවත් අලෙවි මධ්‍යස්ථානයක් විවෘත වීමට නියමිත අතර, දැනටමත් රුපියල් මිලියන 200කට අධික වටිනාකමින් යුතු අමතර කොටස් තොග අප සතුව පවතිනවා. අපගේ මූලික විශ්වාසය වන්නේ වාහනයක් අලෙවි කිරීමෙන් පසු හොඳ අලෙවියෙන් පසු සේවයක් ලබාදීමයි.”‍