• ආරක්ෂිත, ඔරොත්තු දෙන සහ සියල්ලන් ඇතුළත් වූ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට සහාය වීම අරමුණයි 

ඩිජිටල් පරිවර්තනය වෙත ශ්‍රී ලංකාව දක්වන උත්සාහයට සහාය වීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක ණය මුදලක් අනුමත කර ඇතැයි පවසයි. 

ඒ අනුව ආරක්ෂිත, ඔරොත්තු දෙන සහ සියලු‍ දෙනා ඇතුළත් වූ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට, රාජ්‍ය සේවා සැපයීම ඉහළ නැංවීමට සහ පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය සඳහා වන පදනම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය වෙනුවෙන් මෙම මුදල් ලබා දෙන බව එම බැංකුව සඳහන් කරයි. 

මෙම ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙනයාමේ ව්‍යාපෘතියෙන් උසස් තත්වයේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ව්‍යාප්ත කිරීමට සහ රජයේ දත්ත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට උපකාරී වන අතරම, සයිබර් ආරක්ෂණය සහ දත්ත ආරක්ෂණය සඳහා වන ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය අංශය පුරා ඩිජිටල් කුසලතා ඉහළ නැංවීමටත් කටයුතු කරනු ඇතැයි පැවසෙයි. 

විශේෂයෙන්ම කාන්තාවන් සහ අඩු සේවා පහසුකම් සහිත ප්‍රජාව ඉලක්ක කරගනිමින්, පුරවැසියන් සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් රාජ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමෙන් ඩිජිටල් සේවා වෙත එකතු කරගැනීම සහ සාධාරණත්වය ප්‍රවර්ධනය මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

මීට අමතරව, නියෝජිතායතන සඳහා වැඩසටහන් සකස් කිරීම, සැලසුම් කිරීම සහ ධාරිතා වර්ධනය සඳහා සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය සඳහා වන විශේෂ අරමුදලෙන් ඩොලර් මිලියන 1 ක අතිරේක තාක්ෂණික සහාය ප්‍රදානයක් ද ලබා දෙන බව පවසයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ADB හි ශ්‍රී ලංකා දේශීය අධ්‍යක්ෂ ෂැනන් කොව්ලින් මහත්මිය, 

”‍මෙම ව්‍යාපෘතියෙන් සන්නිවේදන සබඳතාවල පවතින පරතර පියවීමටත්, ඩිජිටල් පද්ධතිවල විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත්, පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට වඩා හොඳ සේවා ලබා දීම සඳහා ආයතන ශක්තිමත් කිරීමටත් උපකාරී වනු ඇත.”‍ යනුවෙන් පැවසීය. 

ඉහළ ජංගම දුරකථන ආවරණයක් පැවතියද, විශේෂයෙන්ම ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශවල විශ්වාසදායක, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සඳහා වන ප්‍රවේශය තවමත් ඒකාකාරී නැතැයිද එම බැංකුව සඳහන් කරයි.