කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි නව සංශෝධන සිදු කරන බව පවසයි


රට තුළ නිෂ්පාදන ආර්ථිකය පුළුල් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව කම්කරු නීති හඳුන්වාදීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. 

විශේෂයෙන්ම යල් පැන ගිය අණපනත් වෙනුවට වර්තමානයට ගැලපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමක් සිදු වනු ඇති බවත්, ඒ යටතේ මෙම නීති හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කරයි. 

යෝජිත කම්කරු නීති සංශෝධන පිළිබඳව වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේදී සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. 

කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ නීති හා අණපනත් නූතනත්වයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා යෝජනා සකස් කිරීමට පසුගිය වසරේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කෙරිණි. 

එහිදී කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා වන පරිදි නව සංශෝධන සිදු කිරීම රජයේ අපේක්ෂාව බවත් ඔහු සඳහන් කර ඇත. 

මෙම අදහස් හා යෝජනා ලබා ගැනීම යටතේ වෘත්තීය සමිති, ලංකා හාම්පුතුන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වල අදහස සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සංශෝධන සඳහා අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.