
ආචිර්ණකල්පික ආර්ථික විද්යාඥයන් විසින් ද ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායිතාව වැඩිකිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඕනෑම ආර්ථිකයක ප්රධාන උල්පත වන්නේ ඵලදායිතාවයි. ඵලදායිතාව අඩු වැඩිවීමේ ප්රතිඵලයක් වශයෙන් ආර්ථිකයක දියුණුව හෝ පරිහානිය ඇති වේ. දියුණු වෙමින් පවතින ආර්ථිකයක ගැටලු අවම කර ගැනීම සඳහා ඵලදායිතා වර්ධනය අත්යවශ්ය කටයුත්තක් වේ. ඵලදායීතාව හා ආර්ථික වර්ධනය අතර අන්යෝන්ය සම්බන්ධතාවක් පවතී. ඵලදායිතාව ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ආධාර වේ.
සඵලවත් හා කාර්යක්ෂම යෙදවුම් භාවිතයෙන් දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ආර්ථික වෘද්ධිය වේගවත් කරයි. රටේ සම්පත් ඵලදායී ලෙස ආර්ථික කටයුතුවල යෙදවූ විට ආර්ථික වර්ධනය වැඩිකර ගත හැකිය. ආර්ථිකයේ විවිධ අංශ අතර ඇති යෙදවුම් නිපැයුම් සම්බන්ධතාව වැඩිදියුණු කිරීමත්, ප්රශස්ත මට්ටමින් විවිධ අංශවලට බෙදා හැරීමෙන් වැඩි ඵලදායීතාවක් අත්පත් කර ගත හැකිය. එමගින් ආර්ථික සෞභාග්යය රටකට ළඟාකර ගත හැකිය. ශ්රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ආර්ථික වාසිවලින් ප්රයෝජන නොගැනීම, භූගෝලීය පිහිටිමෙන් හා ඓතිහාසික තත්වවලින් වාසි නොගැනීම ප්රාග්ධන හිඟකම, ආයෝජන අවම වීම, දියුණු තාක්ෂණ ශිල්පීය ක්රම භාවිතයට නොගැනීම, ජාත්යන්තර තරගකාරීත්වයට මුහුණ දීමට අපහසු වීම, පුහුණු ශ්රමයේ හිඟකම ආදිය නිසා රටේ ඵලදායීතාව හීනවිය. රටේ ආර්ථික ගැටලු උග්රවීමට ඵලදායීතා වර්ධනයේ හීනවන අනුපාතය බලපායි. ධරණීය ආර්ථික වර්ධනය සඳහා ඵලදායිතා වර්ධනය අත්යාවශ්ය වේ.
ශ්රී ලංකාවේ ඵලදායීතාව නැංවීමෙන් ආර්ථික වෘද්ධිය වැඩිකර ගැනීමටත්, ජාතික ආර්ථිකය සංවර්ධනය කරගැනීමටත් හැකියාව ලැබේ. එසේ ම ජාත්යන්තර තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දී ලාභදායිත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. ආර්ථික හා සමාජ සංවර්ධනය කෙරෙහි ඵලදායිතාවේ වර්ධනය බලපායි. ව්යවසායකත්වයේ තරගකාරීත්වය, සේවක සහභාගීත්වය හා සේවක හා සේව්ය සහයෝගීතාව වැඩි කරනුයේ ඵලදායිතා වර්ධනයෙනි. ජාතික ආර්ථිකය වඩාත් ඵලදායී වූ විට ඒක පුද්ගල ආදායම වැඩිවී උද්ධමනය හා විරැකියාව අඩු වී යාම සිදු වේ. එසේ ම ආදායම් විෂමතාව අවම වීමට ද හේතුවනු ඇත. ඵලදායිතාව වර්ධනය වන විට ජාත්යන්තර වෙළෙඳාමෙන් වැඩි වාසි අත්පත් කර ගැනීමට හැකි වේ. ව්යවසායක ඵලදායිතාව වර්ධනය වන විට නව ආයෝජන අවස්ථා බිහිවන අතර, ඉතිරි කිරීමේ ප්රමාණය ද වැඩි වේ. මෙමගින් දිළිදුබව තුරන් කිරීම වේගවත් කර ගත හැකිය.
ඕනෑම රටක ඵලදායිතාව පිළිබඳ අවබෝධය හා විඥානය ඇති කිරීමත් ඵලදායිතා ප්රවර්ධනය කිරීමත් ඉතා වැදගත් වේ. ඵලදායිතාව යනු වර්ධන චක්රයේ මූලිකාංගයකි. ඵලදායිතා ප්රවර්ධනයේ දී ප්රධාන සාධකයක් වශයෙන් ස්ථාවර හෝ වැඩි දියුණු කරන ලද තත්වයක් යටතේ යෙදවුම්වල අනුපාතය අඩු කිරීම ද සැලකිල්ලට ගත යුතුය. ඵලදායිතාව භාවිතයට නොගෙන එහි ප්රතිලාභ අත්පත් කර ගත නොහැකිය. ඵලදායිතාව නංවාලීම යනු දිගුකාලීන ක්රියාවලියකි. එය විවිධ වෙනස්වීම් වලට භාජන වෙමින් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන ව්යාපාරයකි. ඵලදායිතාව නගාසිටුවීම සඳහා ජාතික මට්ටමින් දිගුකාලීනව උපායමාර්ගික වැඩසටහනක් දියත් කළ යුතුය. සිංගප්පූරුව රාජ්යය දියුණු වූයේ ඵලදායිතා ව්යාපාරය මැනවින් කළමනාකරණය කළ නිසාය. ඵලදායිතාව පිළිබඳව අවබෝධය ලබාදීම, ඵලදායීතාව මැනීම හා ආදර්ශයට ගැනීමට අත්දැකීම් ලබා ගැනීමට ඵලදායිතා සංකල්ප හා ශිල්පීය ක්රම අනුගමනය කරමින් ආකෘති ගොඩනැගීම වැදගත් වේ. ඵලදායිතා ප්රවර්ධනය ඕනෑම ආර්ථිකයක කළ හැකි කටයුත්තකි. එයට හේතුව වන්නේ ඕනෑම රටක ආර්ථික කටයුතුවලදී භාවිත කරනු ලබන්නේ එකම ආකාරයේ සම්පත් වීම නිසාය. මෙම ඵලදායීතා ශිල්පීය ක්රම දියුණු වූ රටකට මෙන්ම දියුණු වෙමින් පවතින රටකට එක ආකාරයකට බලපායි. එනමුත් ඵලදායීතා ප්රමුඛතා රටින් රටට වෙනස් වේ. ඵලදායීතා ශිල්පීය ක්රම රාශියක් ඇති නමුත් අප රටට ගැළපෙන ඵලදායිතා වර්ධන ශිල්පීය ක්රමය තෝරා ගැනීම වඩාත් සුදුසුය.
ජාතික ආර්ථිකය, ජාතික සංවර්ධනය හා ජාතික සුබසාධනය වැඩිදියුණු කිරීමේදී ඵලදායිතාවේ කාර්යභාරය අතිමහත්ය. ඕනෑම අර්ථ ක්රමයක ආර්ථික ප්රගතිය ඇති කරන ගාමක බලවේගය වන්නේ ඵලදායිතා වර්ධනයයි. ඵලදායීතා වර්ධනය මගින් ආර්ථික සම්පත්වලින් උපරිම ප්රයෝජනය ගැනීම ද, ආර්ථික වර්ධනය සහ සුබසාධන සංවර්ධනය ද සිදු වේ. උදාහරණයක් ලෙස ජපානය දියුණු රටක් බවට පත්වූයේ ඵලදායිතා වර්ධනය හේතුවෙනි. ඕනෑම රටක ඵලදායිතා වර්ධනයේ දී තාක්ෂණය, කළමනාකරණය, ආර්ථික සම්පත් පොදු සාධක වේ. ඵලදායිතාව වර්ධනය කිරීමේ දී මෙම සාධක ඍජු මෙන්ම වක්ර සම්බන්ධතාවක් ලබා දීම ද දායකත්වය සැපයීම ද සිදු කරයි.
ජාතික මට්ටමේ දී තරගකාරීත්වයේ එකම අර්ථවත් සංකල්පය වන්නේ ඵලදායීතාවයි. මේ නිසා ඵලදායිතාව වැඩි කිරීමෙන් තරගකාරීත්වය වැඩිකර ගත හැකිය. දකුණු කොරියාව, තායිවානය, මැලේසියාව ආදී රටවල් ජාත්යන්තර තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ ඒ ඒ රට තුළ පැවැති ඵලදායිතා වර්ධනය නිසාය. රටක ආර්ථික ඉලක්ක ජය ගත හැකි වන්නේ ඵලදායිතා වර්ධනයෙනි. ජාත්යන්තර වෙළෙඳාම හා ආයෝජන ජාතික ඵලදායිතාවේ වර්ධනයට ඉවහල් වුවද ඒවායින් තර්ජන එල්ල වන අවස්ථා ද ඇත. වැඩි ඵලදායිතාවකින් නිපදවන ලද භාණ්ඩ වැඩියෙන් නිර්යාත කර, අඩු ඵලදායිතාවකින් යුක්ත භාණ්ඩ ආයාත කිරීම ජාතියක ඵලදායිතාව නැංවිය හැකි හොඳ මාර්ගයක් වේ.
ඵලදායිතාව වර්ධනය සඳහා උසස් හා දියුණු කරන ලද නව තාක්ෂණය භාවිත කිරීම අත්යවශ්ය වේ. පැරණි තාක්ෂණය වෙනුවට නව තාක්ෂණය භාවිත කිරීමෙන් කාර්යඵලය වැඩිවිය හැකිය. එනමුත් නව තාක්ෂණය භාවිත කිරීමේ දී ආයෝජන අවශ්ය වන නිසා පැරණි තාක්ෂණය වෙනස්කම්වලට ලක් කර, වැඩිදියුණු කිරීම් මගින් කාර්යසාධනය වර්ධනය කර ගත හැකිය. ශ්රී ලංකාව වැනි රටකට නව තාක්ෂණයේ භාවිතය හා පැරණි තාක්ෂණයේ කරනු ලබන වැඩි දියුණු කිරීම්වල සමතුලිතතාවක් අවශ්ය වේ. ඵලදායිතා වර්ධනයට යාන්ත්රිකකරණය සහ ස්වයංක්රීයකරණය යන ප්රධාන සාධක දෙකම ඉවහල් වේ.
ඵලදායීතා වර්ධනය සඳහා තාක්ෂණය ඉහළ නැංවීමෙන් ලබා ගත හැකි වුවද උසස් තාක්ෂණය හා තාක්ෂණය නිවැරදි ලෙස භාවිත කිරීම රඳා පවතින්නේ මානව සම්පත මතය. ඵලදායිතාව නැංවීමේදී මානව සම්පතේ කාර්යභාරය තීරණාත්මක සාධකයක් වේ. මන්ද අනෙකුත් සම්පත් සඵලවත් ලෙස භාවිත කරනු ලබන්නේ මානව සම්පත මගිනි. මානව සම්පත ක්රියාශිලී ලෙස භාවිත නොකිරීම නිසා උසස් ඵලදායීතාවක් ලබාගත නොහැකිය. දිගුකාලයේදී රටක ජාතියක ජීවන තත්වයේ ප්රධාන නිර්ණායකය වනුයේ ඵලදායිත්වයි. මෙමගින් රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාමෙන් රටේ ජීවන තත්වය ද උසස් වේ. එසේ ම ඵලදායිතාව වර්ධනය වීමත් සමග ම සමාජ සුබසාධනය වැඩිදියුණු වේ.
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ ඵලදායීතාව ඉහළ නැංවීමේදී පැන නගින ගැටලු කීපයකි. කළමනාකරණ උපායමාර්ග ප්රායෝගිකව භාවිත නොවීම, දුර්වල සංවිධාන ක්රමයක් පැවතීම, රටේ මානව සම්පත ඵලදායී ලෙස උපයෝජනයට නොගැනීම, තාක්ෂණය සම්බන්ධ ගැටලු මතුවීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු නොවීම ආදිය පෙන්වා දිය හැකිය.
ඵලදායිතාව ඉහළ නැංවීමෙන් වැය වූ පිරිවැය වෙනුවෙන් හිමි වූ ප්රතිලාභ තීරණය කර ගැනීමට හැකියාව ලැබේ. පිරිවැය ප්රතිලාභයට අනුව ප්රතිලාභ වැඩිකිරීමට හෝ පිරිවැය අඩු කිරීමට මෙමගින් අවස්ථාව උදා වේ. දෝෂ සහිත භාණ්ඩ නිෂ්පාදනය අඩු කිරීම, කාර්යක්ෂම යෙදවුම් භාවිතය හා පරිමාණානුකූල ඵල මගින් සාපේක්ෂ පිරිවැය අඩුකරගත හැකිවීම, පිරිවැය අවම කර ගත හැකි ක්රම කිහිපයකි. රටක ඵලදායීතාව භාවිතයට නොගෙන ඵලදායිතාව නැංවීමක් සිදු කළ නොහැකිය. එසේ ම ඵලදායීතාව මැනීමක් නොමැතිව ඵලදායිතාව වර්ධනය නොවේ. ඵලදායිතාවේ් වැඩිවීමක් නොමැතිව ප්රතිලාභවල වැඩි වීමක් තිබිය නොහැකි ය.
ඵලදායිතාව සමාජ සුබසාධනය වැඩි දියුණු කරයි. ආර්ථික කාර්යයන් කරනු ලබන්නේ සීමිත සම්පත්, යෝග්ය හා සාධාරණ පරිදි බෙදා හැරීමෙනි. යම්කිසි ප්රමාණයක භෞතික දියුණුවක් හා උසස් ජීවිත තත්වයක් ළඟා කරගත හැකි වන්නේ ආර්ථික කටයුතු තුළිනි. ඵලදායිතාව පිළිබඳව වැදගත් වූ ලක්ෂණයක් වන්නේ කාර්යක්ෂමතාවේ ප්රතිලාභ ලෙසින් ලැබුණු ආර්ථික ප්රතිලාභ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සඳහා සාධාරණව බෙදා හැරීමෙනි. මෙවැනි තත්වයක් නොමැතිව ඵලදායිතාවේ වර්ධනයක් ඇති කර ගැනීම දුෂ්කරය. ඵලදායීතාව වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන්නේ ප්රතිලාභ සාධාරණ අයුරින් බෙදී ගිය විටදීය. ඵලදායිතාව ජාතික සුබසාධනයට ද හේතු වේ. වැඩි දියුණු කරන ලද ඵලදායිතාවෙන් ප්රතිලාභ නොලැබෙන මානව කටයුත්තක් ද නොමැත. ඵලදායිතාව වර්ධනයෙන් දළ ජාතික නිෂ්පාදිතය, යෙදවුම් සාධකවලට වඩා වේගයෙන් වැඩි වේ.
ඵලදායිතාව වැඩිකිරීමේදී මානව සම්පතේ කාර්ය භාරය අතිවිශාලය. ඵලදායිතාව වෙනස් කරනු ලබන්නේ ද , අඛණ්ඩව වැඩිදියුණු කරන්නේ ද අනෙකුත් සම්පත් සඵලවත් ලෙස භාවිත කරනු ලබන්නේ ද මානව සම්පත මගිනි. මානව සම්පතේ ක්රියාශිලී සහභාගීත්වයක් නොමැතිව උසස් ඵලදායිතාවක් ලබා ගැනීම අපහසුය.
දැනුම පදනම් කරගත් ආර්ථිකයක වැදගත් ම සම්පත වන්නේ මානව සම්පතයි. ශ්රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය කිරීම වඩාත් වැදගත්ය. මානව සම්පත් සංවර්ධනයෙන් රටේ ජනතාවගේ විවිධ දක්ෂතා හඳුනාගෙන ඒවා ඔප් නංවා රටට හා ලෝකයට ප්රයෝජනවත් වන ආකාරයට සකස් කළ හැකිය. මෙමගින් අපේක්ෂා කරන්නේ පුද්ගලයන් හඳුනා ගෙන පුහුණුව හා අත්දැකීම් ලබා දී දැනුමෙන් සන්නද්ධ කිරීමත්, අවදානමට සහ අභියෝගවලට පහසුවෙන් මුහුණ දීමට සුදුසු වන පරිදි නායකත්ව ගුණාංග ඇති කිරීමත්ය. මේ සඳහා රජය විසින් කිසියම් ප්රතිපාදනයක් වෙන් කළ යුතුය. මේ වෙනුවෙන් මුදල් යෙදවීම අනාගතය සඳහා කරන හොඳ ආයෝජනයක් වේ. මේ තුළින් විවිධ ක්ෂේත්ර නියෝජනය කරන ඵලදායී වෘත්තිකයන් වැඩි ප්රමාණයක් රට තුළින් බිහිකර, ඔවුන්ගේ සේවය උපරිම මට්ටමින් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගත හැකිය.
අප රටේ මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය සඳහා පොදු හා පෞද්ගලික අංශ දෙකෙහිම වැඩි අවධානයක් යොමු කළ යුතුය. වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත්, ගෝලීයකරණයත් නිසා සම්ප්රදායක දැනුම යල්පැන ගොස් ඇත. මේ නිසා නූතන දැනුම සහ තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා දීම රාජ්ය මෙන්ම පෞද්ගලික ආයතනවල කාර්යභාරයක් වී ඇත.
මේ සඳහා ආයතන මට්ටමින් සැලසුමක් දියත් කිරීම ඵලදායී කටයුත්තක් වනු ඇත. මෙහිදී ශ්රී ලංකාවේ ආර්ථික අවශ්යතාවලට අනුව මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය කළ යුතු වේ. රටේ මානව සම්පත කළමනාකරණය කිරීමෙන් ශ්රී ලංකා රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි ශ්රමිකයන් නිර්මාණය කිරීමට අවස්ථාව උදා වේ. එසේම අනාගතයේදී ශ්රී ලංකාවේ වටිනාම සම්පත මිනිස් සම්පත වන නිසා ආර්ථික වශයෙන් ද වැදගත් සාධකයක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd