


චිත්‍රාල් ජයතිලක විසිනි
ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති විවිධ කර්මාන්ත ඒ ඒ ප්‍රදේශවල විවිධත්වය සමග බැඳී පවතින බව රහසක් නොවේ. අතීතයද, වර්තමානයද ඊට සාක්ෂි සපයන්නේ එවන් ප්‍රදේශ රැසක් මෙරට ආර්ථික වර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගනිමිනි. ගල්ඔය යනු එවන් ඉතිහාසයක් හා වර්තමානයකින් ශ්‍රී ලාංකේය ආර්ථිකයට සවිමත් දායකත්වයක් දක්වන සුවිශේෂී සාක්ෂියකි.
මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී නැගෙනහිර වෙරළ තීරය දක්වා ගලා බසින කිලෝමීටර් 108ක දිගින් යුත් ගල්ඔය ගංගාව හරස් කරමින් සමස්ත පරිසර පද්ධතියම සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම ප්‍රදේශයක දැවැන්ත පියවරකි. ශ්‍රී ලංකාවේ මානවයා විසින් නිර්මාණය කරන ලද විශාලතම ජලාශය ඉදිවන්නේ එලෙසය. ඉතාමත් සුන්දර වනජීවී රක්ෂිතයන්ගෙන් සැදුම් ලත් මෙම වටිනා භූමි ප්‍රදේශය මූලික කර ගනිමින් ගොවිතැනට දිරිදෙන දේශීය ගොවි ප්‍රජාවක් බිහි වී ඇති අතරම වර්තමානය වන විට ඉතාමත් තීරණාත්මක නවතම පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත්තේ දේශීය කාර්මික ඉතිහාසයද අලුත් කරමිනි.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද දැවැන්තම සහ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන ‘ගල්ඔය බහුකාර්ය ව්‍යාපෘතිය’ 1949 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් මෙරට වියළි කලාපයට පහසුකම් සැලසීම වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ මෙම පෞරාණික භූමිය කේන්ද්‍ර කරගනිමිනි.
සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය යනු කිසිසේත්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් නොවේ. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මෙම ‘ගල්ඔය’ දැවැන්ත ව්‍යාපෘතිය යනු එම උදාර විශ්වාසය සැබෑ ලෝකය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති හොඳම සහ ප්රබලතම සාක්ෂියක් ලෙසද පෙන්වා දිය හැකිය.
පාරිසරික සුරක්ෂිතතාව මුල් කරගත් භූමියක්
හෙක්ටයාර 26,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති ‘ගල්ඔය ජාතික උද්‍යානය’ ශ්‍රී ලංකාව තුළ දැනට ඇති ස්වාභාවිකත්වයට වඩාත්ම සමීප මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්වලින් අවම බලපෑමක් එල්ල වූ වනාන්තර කලාපයකි. මෙම ජාතික උද්‍යානයේ මධ්‍යයේ පිහිටා ඇත්තේ මෙරට විශාලතම ජලාශය වන සේනානායක සමුද්‍රය’යි. එහි සංචාරය කරන අයට, වන අලින් ආහාර සොයා ගැනීම සඳහා ජලාශයේ ඇති කුඩා දූපත් වෙත පිහිනා යන අයුරු සජීවීව දැකගත හැකිය. එය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි තරම් අතිශය දුර්ලභ හා විස්මයජනක දර්ශනයක් ලෙස ඉතා වැදගත් වේ.
බෝට්ටු සංචාර සමගින් රසවත් සෆාරි අත්දැකීමක් ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජාතික උද්‍යානයක් වන්නේ ‘ගල්ඔය’ ජාතික උද්‍යානයයි. එසේ වුවද, එය මෙරට පවතින අවම සංචාරක පැමිණීමේ වනාන්තර කලාපයක් ලෙසද සඳහන් කළ හැකිය. එසේම ඉතාම කලාතුරකින් දැක ගන්නට ලැබෙන සුවිශේෂී සිදුවීම් මෙම වන කලාපය තුළදී දැක ගත හැකි අතර වනාන්තරයට හානියක් නොවන අයුරින් පරිසර හිතකාමී ලෙස ඉදිකර ඇති නවාතැන් පහසුකම්ද ඊට එක් කරනුයේ සුවිසල් වටිනාකමකි.
මෙම ජලාශය සහ ඒ අවට ඇති වනාන්තර පද්ධතිය වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂ රැසකට ආරක්ෂාව සපයනු ලබයි. තවද මිරිදිය මත්ස්‍ය විශේෂ 32කට රැකවරණය සපයන ජලාශයේ ඇති කුඩා දූපත් සහ වියළි ගස් කඳන් මත මෙරට නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 150කට අධික ගණනක් ජීවත් වන අයුරු මනාව දැක ගත හැකිය.
මීටර් 900ක් දක්වා උසට විහිදෙන කඳු වැටිවලින් අලංකාර වූ මෙම කලාපය ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ තිස්ස රජුගේ ගුහා නවාතැන්වල සිට ආදිවාසී වැදි ප්‍රජාවගේ උරුමය දක්වා වූ ගැඹුරු ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියන්නේ වර්තමානයේ පමණක් නොව අතීතයේද සිය අභිමානය සනිටුහන් කරමිනි.
මෙවන් වටිනාකමක් සහිත හුදෙක් කර්මාන්තශාලාවකට වඩාත් ගැළපෙන භූමි ප්‍රදේශයක් ලෙස එම කර්මාන්තයන් විසින් පාරිසරික සුරක්ෂිතභාව ආරක්ෂා කිරීම අනිවාර්යයයෙන් සිදු කළ යුතුය. එනයින් ගල්ඔය සීනි කර්මාන්තශාලාව ඊට එක් කරන්නේ ඉමහත් වටිනාකමකි. ඒ ආර්ථික දියුණුව සඳහා පමණක් නොව පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන්ද කැපවෙමිනි.
වටිනා ශක්තියක් අවදි කිරීම
මෙම සුවිශේෂී පරිසර පද්ධතිය පසුබිම් කරගනිමින්, මුද්‍රණයට යන අම්පාර සීනි කර්මාන්තශාලාවේ‘ ඓතිහාසික කතාව සමස්ත දේශීය ආර්ථිකයටම අතිශය තීරණාත්මක වැදගත්කමක් උසුලයි. 1997 වසරේදී සම්පූර්ණයෙන්ම වසා දමන ලද මෙම කර්මාන්තශාලාව, සදහටම විනාශ වී යාමේ බිහිසුණු අවදානමකට මුහුණ පා සිටි අතර, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා මෙය නැවත පණගැන්වීමට කටයුතු කරනු ලැබුවේ සීනි නිෂ්පාදනය නැවත ආරම්භ කරමිනි. එපමණක්ද නොව අවට පවතින සංවේදී පරිසර පද්ධතිය දෙස දැඩි අවධානය යොමු කරමින් දේශීය කර්මාන්තයක් තිරසාර ලෙස නැවත ගොඩනැඟීමට කටයුතු කරනු ලැබීය.
එම සුවිශේෂී තීරණය අද වන විට නිෂ්පාදන ධාරිතාවෙන් පමණක් නොව, එය කර්මාන්ත ක්ෂේත්රයට සපයා ඇති විශිෂ්ට හරිත ආකෘතියෙන්ද උපරිම ප්‍රතිඵල ලබා දී ඇත්තේ රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයකට පරිසරයට උපරිමයෙන් වගකියන අතරම වාණිජමය වශයෙන්ද අතිශය සාර්ථක විය හැකි බව මනාව පෙන්වා දෙමිනි.
විශිෂ්ට හරිත වැඩපිළිවෙළක්
කර්මාන්තකරණය තුළ චක්‍රීය ආර්ථිකයකින් සංවර්ධනයේ දියුණුව සලසන ආකාරය ගල්ඔය සීනි කර්මාන්තශාලාවෙන් මනාව දැක ගත හැකිය. සෑම විටම පරිසර හිතකාමී පිළිවෙත්වලින් සිය මෙහෙයුම් සිදු කරන කර්මාන්ත ශාලාව තුළ සීනි නිෂ්පාදනයේදී සාමාන්‍යයෙන් ඉවතලන අපද්‍රව්‍යයක් වන ‘උක් රොඩු’ භාවිත කරමින්, ජාතික විදුලි කිරීමට කටයුතු කර ඇත.
තවද ඉන් ඉතිරිවන අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ විශාලතම කාබනික පොහොර නිෂ්පාදන පරිශ්‍රය තුළදී උසස් තත්වයේ කාබනික පොහොර බවට පත්කරන අතර එමගින් රසායනික පොහොර වෙනුවට භාවිත කළ හැකි ඉහළ දේශීය විකල්පයක් ගොවීන්ට හිමිවේ.
එපමණක් නොව සීනි කර්මාන්තශාලාවේ මෙහෙයුම්වලදී පිරිපහදු කළ අපජලය ගල්ඔය නිම්නයට මුදාහැර පරිසරය දූෂණය කරනවා වෙනුවට, ඒවා නැවත වරක් උක් වගාව සඳහාම ප්‍රයෝජනයට ගන්නා බැවින් කලාපයේ වටිනා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාවීමද මෙහිදී ඉතා වැදගත් වේ.
ගොවි ජනතාවගේ ආර්ථිකය හා ආරක්ෂාව
අද වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 8,000කට අධික ගණනක් මෙම දැවැන්ත සීනි නිෂ්පාදන ක්‍රියාවලිය සමග සෘජුවම සම්බන්ධ වී සිටින්නේ සමාගමේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවන් ලෙසය. කලාපයේ වාරි ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා සමාගම විසින් ගොවීන් වෙත සෘජු තාක්ෂණික සහ මූල්‍ය සහාය අඛණ්ඩව ලබා දෙයි. අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස ගල්ඔය වනජීවී කලාපය ආශ්‍රිතව ජීවත්වන ජනතාව මුහුණ දෙන ප්‍රධානතම සහ බිහිසුණුම අභියෝගයක් වන වන අලින්ගෙන් සිදුවන වගා හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය ස්ථාවර තාක්ෂණික විසඳුම් ක්‍රියාවට නැංවීමට සමාගමේ මැදිහත් වීම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුය.
මෙම කලාපයේ දිනකට උක් මෙට්‍රික් ටොන් 4,000ක් දක්වා ඇඹරීමේ සහ සැකසීමේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම, මෙරට දේශීය සීනි කර්මාන්තයේ ශක්තියට මෙන්ම ඉන් ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමටද සෘජුවම බලපාන අතිශය තීරණාත්මක වර්ධනයකි.
ශ්‍රී ලංකාවට සිය වටිනා පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සහ රටට අත්‍යවශ්‍ය මහා පරිමාණ කර්මාන්ත ගොඩනැගීම අතරින් එකක් පමණක් තෝරාගෙන අනෙක කැප කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවේ. මෙම ඓතිහාසික ජලාශය, වටිනා වනාන්තර, මෙම භූමිය මත දහඩිය හෙළන දේශීය ගොවීන් සහ එහි සවිශක්තිමත්ව මුල් බැසගෙන ඇති හරිත කර්මාන්තය යන මේ සියල්ලම අපව රැගෙන යන්නේ එකම ස්ථාවර නිගමනයකටය. එනම්, පරිසර සංරක්ෂණය සහ කාර්මික ප්‍රගතිය අත්වැල් බැඳගෙන එකටම ඉදිරියට යා හැකි අතර, එය එසේම සිදුවිය යුතු බවයි. ගල්ඔය නිම්නයට මෙන්ම එමගින් පෝෂණය වන සමස්ත ශ්‍රී ලංකාවටම අප උදාකර දිය යුතු සැබෑ අනාගතය එයයි.
මෙම ලිපියේ රචකයා සම්මානනීය වනජීවී ඡායාරූප ශිල්පියකු මෙන්ම තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබඳ ප්‍රමුඛතම උපදේශකයෙකි. ඔහු යාල ජාතික උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පරිසර සංරක්ෂණ කටයුතු සහ ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්ටමේ තල්මසුන් නැරඹීමේ ක්ෂේත්රය ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd