• දැරිය හැකි මිලට එම වාහන  ලබාගැනීමට බදු ප්‍රතිපත්ති  සැකසීමේ අවශ්‍යතාව පෙන්වයි 
  • බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණයට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි 
මෙරට වෙත විද්‍යුත් වාහන ආනයනයේදී ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය සහ එම වාහන රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු‍ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව තිබේ. 
ඒ අනුව විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන ලබාගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරී තිබේ. 
එහිදී විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සඳහා අදාළ බදු සහන හා ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු වර්ගීකරණය හා HS කේතයන් යාවත්කාලීන කිරීමට අවධානය යොමුව ඇත. 
විශේෂයෙන්ම විද්‍යුත් වාහනවල බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රට තුළ පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව අවධානය යොමුව ඇත. 
ඒ අනුව භාවිතයෙන් ඉවත් වන බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ. 
එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිති සහ රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේතයන් නිසි පරිදි හඳුන්වාදීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණි. මේ අතර විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්ව ඇත.