
- ප්‍රායෝගික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිපත්ති හා කර්මාන්ත තීරණ ගත යුතුයි
- දිගුකාලීන ඉඩම් බදු අයිතිය පිළිබඳ අවිනිශ්චිතතාවද කර්මාන්තයට බරපතළ අභියෝගයක්
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් පංචවිධ පුනර්ජීවන දැක්මක් ඉදිරිපත් කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon - PA) නව සභාපති ශානක සමරදිවාකර මහතා සඳහන් කරයි.
පසුගියදා පැවැත්වුණු එම සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සමරදිවාකර මහතා මෙම කරුණු සඳහන් කළේය. ඒ මහතා අද වනවිට මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
ඒ අනුව අගය එකතු කිරීම, පර්යේෂණ හා සංවර්ධනය, ඉඩම් භාවිතය හා ඵලදායිතාව, වාරිමාර්ග සංවර්ධන සහ දිගුකාලීන ඉඩම් භුක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්‍ර පහ කේන්ද්‍ර කරගනිමින් මෙම පංචවිධ පුනර්ජීවන දැක්ම ඉදිරිපත් කරන බව සභාපතිවරයා සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකර්මාන්තයේ අනාගතය තීරණය වන්නේ කර්මාන්තයේ සියලු පාර්ශ්ව කොතරම් ඵලදායී ලෙස එකට කටයුතු කරන්නේද යන්න මත බවද ඔහු සඳහන් කළේය.
ඒ සමගම, නිෂ්පාදකයන් භූමියේ මුහුණ දෙන සැබෑ අභියෝග සහ ප්‍රායෝගික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිපත්ති හා කර්මාන්ත තීරණ ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
2025 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයන පරිමාවෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අගය එකතු කළ තේ නිෂ්පාදනවලින් සමන්විත වී තිබේ. එම අපනයන පරිමාවේ සැලකිය යුතු කොටසකට කලාපීය වැවිලි සමාගම් (RPCs) දායක වී ඇති බව සමරදිවාකර මහතා පැවසීය.

අඛණ්ඩ ආයෝජන හරහා එම සමාගම් අගය එකතු කළ තේ නිෂ්පාදනය පුළුල් කර ඇති අතර, මෑතකදී මැචා තේ, හරිත තේ සහ විශේෂිත අත්කම් තේ (artisanal teas) වැනි ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන කාණ්ඩ වෙතද වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමක් සහිත තේ නිෂ්පාදන කාණ්ඩය ආරක්ෂා කර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ අපනයන ක්ෂේත්‍රයේ සහාය අවශ්‍ය බව ශානක සමරදිවාකර මහතා අවධාරණය කළේය.
දේශීයව නිෂ්පාදනය කරන හරිත තේ සහ අනෙකුත් ඉහළ වටිනාකම් තේ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් වෙන්දේසිවල අලෙවි නොවී ඉතිරි වන අතර, ඒ අතරතුර සමාන නිෂ්පාදන රට තුළට පැමිණීම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.
“මෙම තත්වය බලධාරීන් විසින් නැවත සමාලෝචනය කර, දේශීය නිෂ්පාදනය සහ අගය එකතු කිරීම ආරක්ෂා කිරීමට හා දිරිගැන්වීමට සුදුසු පියවර ගනු ඇතැයි අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු සඳහන් කළේය.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරදිවාකර මහතා, විශේෂයෙන් රබර් කර්මාන්තයට තර්ජනයක් වන රෝග තත්ව සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය.
“කෝපි වගාවට රෝග ව්‍යාප්තියෙන් සිදු වූ විනාශය වැනි අත්දැකීමක් නැවතත් අපට දරාගත නොහැකියි,” ඉඩම් භාවිත ප්‍රතිපත්ති සහ ඵලදායිතාව පිළිබඳ අදහස් දක්වමින්, ඒ මහතා වෙනස් වන වර්ෂාපතන රටාවට ප්‍රතිචාර දක්වමින් කලාපීය වැවිලි සමාගම් (RPCs) වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිය වගා කටයුතු විවිධාංගීකරණය කර ඇති බව පැවසීය.
ඒ අනුව ඔයිල් පාම්, ගම්මිරිස් සහ අලිගැටපේර වැනි විකල්ප වගා සඳහාද ආයෝජනය කර තිබේ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය සහයෝගය නොමැතිවීම, කෘෂිකාර්මික සොරකම් සහ වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි හේතුවෙන් එම ආයෝජන වැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
වැවිලි සමාගම්වල දිගුකාලීන ඉඩම් බදු අයිතිය පිළිබඳ අවිනිශ්චිතතාවද කර්මාන්තයට බරපතළ අභියෝගයක් බව ඔහු සඳහන් කළේය. නැවත වගා කිරීමෙන් සැලකිය යුතු ආදායමක් ලැබීමට බොහෝවිට වසර දහයකටත් වැඩි කාලයක් ගතවන අතර, බදු කාලය දීර්ඝ කිරීම පිළිබඳ නිශ්චිතභාවයක් නොමැතිවීම හේතුවෙන් විදේශ සෘජු ආයෝජන සහ දිගුකාලීන මූල්‍ය පහසුකම් ආකර්ෂණය කර ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
“නව ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමටත්, නැවත වගා කිරීම වේගවත් කිරීමටත්, වැවිලි නවීකරණය කර ඵලදායිතාව ඉහළ නැංවීමටත් අපට අවශ්‍ය නම්, ඉඩම් භාවිත අයිතිය සම්බන්ධයෙන් දිගුකාලීන සුරක්ෂිතතාව සහ නිශ්චිතභාවය අත්‍යවශ්‍යයි,” යැයි සමරදිවාකර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd